පොදු සමා කාලය තුළ සේවය හැරගොස් සිටි බොහෝ පිරිසක් භාරවෙති

අප්‍රේල් 27, 2019

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇත.

වසරේ පළමු අධියර ලෙස ක්‍රියාත්මක කරන මෙම පොදු සමා කාලය යටතේ 2019 අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා දින 21 කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින නිලධාරීන් සහ අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා මාස 6 ක් හෝ දින 180 කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින කොමිෂන් නොලත් නිලධාරීන්ට එම අවස්ථාව ලබාගත හැක. තවද නිවාඩු නොමැතිව මාස 6 කට වැඩි කාල සීමාවක් නොපැමිණ සිටින එහෙත් තව දුරටත් යුද්ධ හමුදා සේවයේ නැවත නිරත වීමට කැමති පුද්ගලයින් හට මෙමගින් යුද්ධ හමුදාවට නැවත එක්වීමටද ඉඩ ප්‍රස්තාව ලැබේ.

එලෙස සේවයෙන් බැහැරව සිටින අයවළුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන් සලකා පහත සඳහන් අංශ හතරට යටත්ව ඔවුන් හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් කරනු ලැබේ.

වර්ග කිරිම් අංක - I

යුද්ධ හමුදාව වෙත කිසිදු මුදලක් ගෙවීමට නොමැති සහ ඉවත් කිරීම සඳහා නීතිමය බාධාවක් නොමැති අයවළුන් යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර, යුද්ධ හමුදා ආකෘති පත්‍ර උපකරණ 1 (යු.ආ.උ 01) මත නිකුත් කර ඇති බඩු බාහිරාදිය නොසලකා හැරීමේ පදනම මත හා යුද්ධ හමුදාවට අදාළ නොවන සිවිල් උසාවි නඩු සහ සුළු වැරදි නොසලකා හැරේ.

වර්ග කිරිම් අංක - II

නීතිමය බාධාවක් නොමැතිව යුද්ධ හමුදාව වෙත යම් මුදලක් අයවීමට ඇති නම් එම මුදල් අනිවාර්යයෙන් අයකර ගන්නා අතර, යුද්ධ හමුදා යහසාධක අරමුදල සහ සුවසහන වෛද්‍ය යෝජනා ක්‍රමයේ ඉතිරිව ඇති මුදලින් එම අයකිරීම සිදුකර ඉවත් කිරීමට හැකියාවක් ඇති නම් එලෙස ඉවත් කිරිමට කටයුතු කරනු ලබයි.

වර්ග කිරිම් අංක - III

නීතිමය චෝදනා නොමැති ඒකක අනිවාර්‍ය ඉතිරිකිරීම්, යහසාධක අරමුදල සහ සුවසහන අරමුදලින් හෝ වෙනත් ඉතිරිකිරීමේ මුදලකින් යුද්ධ හමුදාවට හෝ රජයට ගෙවිය යුතු මුදල්, ඇප බැඳුම්කර ඇතුළුව පියවා ගැනීමට හෝ එම මුදල් ගෙවීමට අපොහොසත් වේ නම් ඇපකරුවන්ගෙන් හෝ ළගම ඥාතීන්ගෙන් එම මුදල් අය කර යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබයි.

වර්ග කිරිම් අංක - IV

නීතිමය ගැටළු ඇති හා විනය කඩකිරිම්වලට ලක්ව වංචා දූෂණ අක්‍රමිකතා මෙන්ම සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ අයවළුන් හට පවතින නීතිමය ප්‍රතිපත්ති වලට අනුව ක්‍රියා කර යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරයි. ඒ හා සමානව නිවාඩු නොමැතිව සිටින පුද්ගලයන් සඳහා යුද්ධ හමුදා ආකෘති පත්‍ර උපකරණ 1 (යු.ආ.උ 01) මත නිකුත් කර ඇති සියලුම බඩු බාහිරාදිය නොසලකා හරින අතර, යුද්ධ හමුදාවට අදාළ නොවන සිවිල් උසාවි නඩු සහ සුළු වැරදි නොසලකා හැරේ. ඒ අනුව සඳහන් කර ඇති පරිදි යුද්ධ හමුදාවෙන් ඉවත්වීමට අපේක්ෂා කරන සියලු අයවළුන් සඳහා එම කිසිදු කරුණක් සැලකිල්ලට නොගැනේ.

එමෙන්ම සේවා කාලය තුළ මාස 6 කට වැඩි කාලයක් නොපැමිණි එහෙත් නැවත බැඳී රාජකාරී සිදුකිරීමට කැමති පුද්ගලයින්හට කැමැත්තෙන් සේවයට නැවත එක්වීමටද මෙම කාලය තුළ ඉඩ ප්‍රස්ථාව ඇත.

මෙම වැඩපිළිවෙල අනුව එකී පුද්ගලයින් ඔවුන්ගේ අදාල රෙජිමේන්තු මූලස්ථාන වලට පැමිණ හෝ දන්වා සෘජුව එම අස්වීම ලබාගත හැකි බවද නිවේදනය කෙරේ.

මෙම පොදු සමා කාලය තුළ ඉල්ලා අස්වීම ලබාගැනීමට කැමති පුද්ගලයින් ඔවුන්ගේ යුද්ධ හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත සහ ත්‍රස්තවාදී ප්‍රහාරවලදී සිදුව ඇති තුවාල වලට සම්බන්ධ ලිපි ලේඛන ආදිය ඇත්නම් ඒවාද රැගෙන එන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය