ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ දියත් කෙරේ

පෙබරවාරි 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘කොළඹ නාවික අභ්‍යාසය -2021’ (CONEX-21) අඛණ්ඩව තෙවැනිවරටත් බටහිර මුහුදේ දී ඊයේ (පෙබරවාරි 7) දින ආරම්භ කළේය.

නාවික ඒකකයන් ඒකාබද්ධ කරමින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම අභ්‍යාසය මගින් නාවික මෙහෙයුම් විශේෂඥතාව සහ වෘත්තීය නිපුණත්වය වර්ධනය කරනු ඇත.

නාවික හමුදා නෞකා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා එක්ව සිදුකරන අභ්‍යාසයන්ගෙන් මෙය සමන්විත වන අතර, එය සමුද්‍රීය කලාපය තුළ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වනු ඇත.  

සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය ආරක්ෂක තර්ජනයන්ට මුහුණදීමේදී මෙවැනි අභ්‍යාස තුළින් ලැබෙන දැනුම හා අත්දැකීම් ඉතා ප්‍රයෝජනවත් වන අතර, සෙවීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් වලදී ද වැදගත් වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන් වන සයුරළ, සයුර, සිඳුරළ, සමුදුර නෞකාවන්, වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් වන සුරනිමල සහ නන්දිමිත්‍ර නෞකාවන්, වෙරළ මුර සංචාර යාත්‍රා වන මිහිකත සහ රත්නදීප යන නෞකාවන්, වේග මුර නෞකාවක් වන උදාර නෞකාව මෙන්ම 04 වන වේග ප්‍රහාරක බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 08 ක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සුරක්‍ෂා, සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා නෞකාවන්ද ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17, බෙල් 412, බෙල් 212 හෙලිකොප්ටර් යානා 03 ක් සහ B - 200 King Air වර්ගයේ නිරීක්‍ෂණ ගුවන් යානයක් ද මෙම අභ්‍යාසය සඳහා යොදාගැනේ.

කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නාවික අභ්‍යාසය පැවැත්වීමට කටුයුතු සූදානම් කර ඇත.