සම්පූර්ණ සුවය ලබා ඊයේ දින රෝහල්වලින් පිටව ගිය කොරෝනා අසාදිතයින් ගණන 740 යි

පෙබරවාරි 09, 2021

අද (පෙබරවාරි 09) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 887 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 70,234 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු සිටින අතර  කොළඹ දිස්ත්‍රික්කයෙන් 214 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 208 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 181 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 275 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 09) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 66,730 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 62,727 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (08) දින තවත් PCR පරීක්ෂණ 12,145 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 740 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 64,140 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 5,729 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 94 ක් යටතේ පුද්ගලයින් 9,025 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 09 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ ගොස් තිබේ.