ගාලු මුවදොර ප්‍රථිසංස්කරණයට නාවික හමුදා දායකත්වය

පෙබරවාරි 09, 2021
  •     ගාලු මුවදොර පිටියේ ආකර්ශණීයත්වය ඔප්නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරගෙන යනු ලබයි.

ඒ අනුව, ගාලු මුවදොර පිටියේ ඇති ආකර්ශණීය පෙනුමට හානි නොවන පරිදි ස්ථිර වෙළෙඳ කුටි ඉදිකරන බව නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සිවිල් ඉංජිනේරු (සැලසුම්) කොමදෝරු රංජනී චන්ද්‍රසේකර පැවසීය.  

මෙම ව්‍යාපෘතිය සඳහා තාක්‍ෂණික විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වය නාවික හමුදාව මගින් ලබාදෙන බව කොමදෝරු චන්ද්‍රසේකර ආරක්‍ෂක අමාත්‍යංශ නිල වෙබ් අඩවිය වෙත පැවසීය.

ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සමඟ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මෙම ව්‍යාපෘතිය ඊයේ (පෙබරවාරි 8) දින පරීක්‍ෂා කළහ.  

ගාලු මුවදොර පිටියේ ඇති ආකර්ශණීය පෙනුම ආරක්‍ෂා වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදුකරන ලෙස  ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

මෙය ගාලු මුවදොර හරිත සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිරි පිම්මක් වනු ඇතැයි කොමදෝරු චන්ද්‍රසේකර තවදුරටත් පැවසීය.