අතුරුදහන් වූ පුද්ගලයාගේ මළසිරුර යුධ හමුදා භට පිරිස් විසින් සොයා ගැනේ

පෙබරවාරි 10, 2021

විනෝද චාරිකාවක යෙදී සිටියදී අතුරුදහන් වූ දිනුර විජේසුන්දරගේ දේහය බිබිල පුංචි ලෝකාන්තය අසල ඝණ කැලයේ තිබී යුධ හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 9) දින රාත්‍රියේ සොයා ගෙන තිබේ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිගේ අධීක්‍ෂණය මත 112 වන බලසේනාධිපති සහ විශේෂ බලකා බලසේනාධිපතිගේ මෙහෙයවීමෙන්  112 වන බලසේනාවේ සහ විශේෂ බලකායේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (7) දින පැවති අයහපත් කාලගුණික තත්වය මධ්‍යයේ අතුරුදහන් වූ පුද්ගලයා සොයා පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

එහිදී අවශ්‍ය වූ විටෙක ක්‍රියාත්මක වීම සදහා ගිලන්රථ සහ ගුවන් හමුදාවද සූදානම්ව සිටින ලදි.

35 හැවිරිදි මෙම අතුරුදන් වූ පුද්ගලයා කළුතර, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තවත් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 6) දින විනෝද චාරිකාවක නිරත වී තිබේ.

පුංචි ලෝකාන්තයට අඩි 1200 ක් පහළින් වූ ප්‍රපාතයේ තිබියදී මොහුගේ දේහය සොයාගන්නා ලදි.