නාවික හමුදාවේ ‘CONEX-21’ අභ්‍යාසය සාර්ථකව නිමා වේ

පෙබරවාරි 11, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර මුහුදේ සිදුකල ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ (CONEX-21) ඊයේ (පෙබරවාරි 10) දින සාර්ථකව නිමාවිය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අභ්‍යාසයේ අවසන් දිනය අධීක්‍ෂණය කළ බව නාවික හමුදාව පවසයි.

මෙම නාවික අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවන් 04ක්, වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් 02ක්, බේ ක්ලාස් වර්ගයේ (Bay Class) මුර නෞකාවන් 02ක්, වේග මුර නෞකාවක් මෙන්ම 04 වන වේග ප්‍රහාරක බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 08ක් යොදාගන්නා ලදී.

මීට අමතරව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවන් 03ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17, බෙල් 412, බෙල් 212 හෙලිකොප්ටර් යානා සහ B - 200 King Air වර්ගයේ නිරීක්‍ෂණ ගුවන් යානයක් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වූ බව නාවික හමුදාව පැවසීය.

නාවික හමුදාව සදහන් කරන පරිදි, නාවික ඒකකයන් අතර අන්‍යෝන්‍ය සහයෝගය සහ මෙහෙයුම් සූදානම විදහා දක්වමින් මෙවැනි අභ්‍යාස ගණනාවක් පවත්වා ඇත.

නාවික සහ ගුවන් හමුදා එක්ව සිදුකරන මෙවැනි ඒකාබද්ධ අභ්‍යාස, සමුද්‍රීය කලාපය තුළ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා බෙහෙවින් උපකාරී වනු ඇත.

තවද, නාවික හමුදාපතිවරයකු කොළඹ නාවික අභ්‍යාසයට සහභාගී වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නාවික අභ්‍යාසය පවත්වන ලදී.