‘දීඝවාපිය අරුණ’ භාරකාර අරමුදල ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පෙබරවාරි 12, 2021
  •       'www.deegawapiya.lk' නිල වෙබ් අඩවිය හදුන්වා දේ
  •        පහසුව මුදල් බැරකිරිම සඳහා ‘QR’ කේතයක්

‘දීඝවාපිය භාරකාර අරමුදල’ දියත් කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 12) දින කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්විය.   

අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා ස්ථාපිත කරන ලද 'www.deegawapiya.lk' නිල වෙබ් අඩවියද හදුන්වා දෙන ලදී.  

‘දීඝවාපිය ස්ථූපය’ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල දායකත්වයක් මෙම අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතිය හරහා සිදුවන අතර ‘දීඝවාපිය භාරකාර අරමුදල’ යටතේ පූර්ණ විනිවිදභාවයකින් යුතුව එම මුදල් කළමනාකරණය කෙරේ.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ඒ අනුව දේශීය සහ විදේශයන්හි සිටින අනුග්‍රාහකයින්ට සහ බැතිමතුන්ට ඔවුන්ගේ උදාර දායකත්වය ලබාදීමේදී වෙබ් අඩවියේ සදහන් කර ඇති ‘QR’ කේතය හරහා පහසුවෙන් මුදල් තැන්පත් කිරීමට හැකියාව ඇත.

දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති භූමිය, ක්‍රි.පූ. 3 වන සියවස දක්වා ඈත අතීතයට දිව යන අතර එය සොලොස්මස්ථාන වලට අයත් ආගමික ස්ථානයක් ලෙසද ප්‍රකටය.

දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු නොවීම හේතුවෙන් නටඹුන් වී තිබූ දීඝවාපිය ස්තුපයේ තත්වය එහි විහාරාධිපති අතිපුජ්‍ය මහඔය සෝභිත හිමි විසින් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අවශ්‍යතාවය මතුකරමින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමු කරන ලදී.

අඛණ්ඩ ක්‍රියාවලියක් තුළින් වසර තුනක් ඇතුළත මෙම දැවැන්ත කාර්යය අවසන් කරන බවට ජෙනරාල් ගුණරත්න උත්සවයේ රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රතිඥා දෙන ලදී.

පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය සංකේතවත් කරමින් මහා සංඝ රත්නය, ත්‍රිවිධ හමුදා, පොලිස්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිත්‍යාගශීලීන් මෙම උත්සවයේදී ජනාධිපති රාජපක්ෂ මහතා වෙත චෙක්පත් පිරිනමන ලදී.

මේ අතර, ස්තූපය ප්‍රතිසංස්කරණය හා සම්බන්ධ අනෙතුත් ඉදිකිරීම් සඳහා බැතිමතුන් සහ පරිත්‍යාගශීලින් ඔවුන්ගේ උදාර දායකත්වය ලබාදීමට පොරොන්දු විය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් ආගමික වතාවන් සිදුකිරීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ වන ලදී.

උත්සව කටයුතු අවසන් කරමින් ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම්,  ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනනායක මෙනවිය ස්තූති කථාව පැවැත්වීය.  

පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පුජ්‍ය පැල්පොල විපස්සි හිමි, බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ පුජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි, දීඝවාපිය විහාරාධිපති පුජ්‍ය මහඔය සෝභිත හිමි ඇතුළු මහා සංඝ රත්නය, මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර (විශ්‍රාමික), ජාතික උරුම, ප්‍රාසාංග කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික), පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා, ඉඩම් කොමසාරිස් ජෙනරාල් කීර්ති ගමගේ මහතා, ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් (විශ්‍රාමික), ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බැතිමතුන් සහ පරිත්‍යාගශීලීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.