කොවිඩ් -19 සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අභියෝගයක් - ආරක්ෂක ලේකම්

පෙබරවාරි 12, 2021

•    අධ්‍යාපන ක්ෂේත්‍රයේ මීට පෙර නොවූ වෙනසක්  

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අභියෝගයට ලක් වූ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගැන සඳහන් කරමින් “Institute of Supply and Materials Management (ISMM)” වැනි සංවිධාන ප්‍රායෝගික ක්‍රමවේදයක් භාවිතා කරමින් පීඩාවකින් තොරව සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අභියෝග ජය ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙමි.” යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසන ලදී.

අන්තර්ජාලය ඔස්සේ මාර්ග ගත පාඩම් හා ඉගෙනුම් උපකරණ නොමැති සම්ප්‍රදායික අධ්‍යාපනය පිළිබද සඳහන් කළ ජෙනරාල් ගුණරත්න, ‘ ISMM ’ආයතනය විසින් කරන ලද දැවැන්ත සේවය අගය කළේය.  

සැපයුම් කළමනාකරණ ක්‍ෂේත්‍රයේ ඇති අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ, සැපයුම් දාමයන්හි සිදුවන කඩාවැටීම් වලට ඔරොත්තුදීම සඳහා අවදානම් කළමනාකරණය සහ ස්වාභාවික විපත් සහ මූල්‍ය අර්බුද වැනි බාධාවන් අවම කිරීම සඳහා අධීක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

ගෝලීයකරණය හේතුවෙන් ගෝලීයව සිදුවන ව්‍යවසනයන්ගේ බලපෑම වඩාත් ඉක්මණින් ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඔහු, අවදානම් වළක්වා ගැනීම සහ අවම කිරීම සඳහා අවදානම් හදුනාගැනීමේ ක්‍රමානුකූල ප්‍රවේශයක් තිබීම ඉතාමත් වැදගත් බව පවසන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවති ‘ ISMM ’ ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම් මෙම අදහස් ප්‍රකාශ කළ අතර “කඩාවැටීම් නිසා බාධා වලට මුහුණ දීමට සිදුවනවා පමණක් නොව තරඟකරුවන්ගෙන් ව්‍යාපාර දිනා ගැනීමේ අවස්ථාවන් ලබාගැනීමටද වෘත්තිකයන් දැන සිටිය යුතුය” යනුවෙන් අවධාරණය කළේය.
    
ඊයේ (පෙබරවාරි 11) සවස පැවති ‘ ISMM ’ ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා සහභාගී විය.      

‘2016 – 2019’ කණ්ඩායමට අයත් සාර්ථකව පාඨමාලාව හැදෑරු සිසුන් ප්‍රධාන ආරාධිත අමුත්තාගෙන් මෙහිදී තම ඩිප්ලෝමා සහතිකපත් ලබාගන්නා ලදී.

ඒ අනුව ‘ ISMM ’ ආයතනයේ සිසුන් 47 දෙනෙකුට මෙහිදී ඩිප්ලෝමා හිමිවූ අතර හොඳම ශිෂ්‍යයා සඳහා වූ කපිතාන් වී. ටී. ඩී. අමරතුංග අනුස්මරණ සම්මානය පාඨමාලාවේ වැඩිම ලකුණු ලබාගත් කාංචනා රත්නායක වෙත පිරිනමන ලදී.      

මෙම අවස්ථාව ඔවුන්ගේ ජීවිතයේ දැවැන්ත පිම්මක් ලෙස ප්‍රකාශ කරමින් ආරක්ෂක ලේකම් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සීමාවන් මධ්‍යයේ අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් ඉදිරියට යාමට ඔවුන් ගත් උත්සාහය පැසසුමට ලක් කළේය.

“ලොව පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මීට පෙර දැක නොමැති වෙනසක් සිදුව තිබේ” යනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වත්මන් ලෝක වසංගත තත්ත්වය උපුටා දක්වමින් කියා සිටියේ “අද අපි නව යුගයක් කරා ගමන් කරමින් සිටින අතර එහි වෙනස අප සැවොම අවබෝධ කර ගත යුතුය”. යනුවෙනි.


ආරක්ෂක ලේකම් සිය දේශනයේදී සියලුම ඩිප්ලෝමාධාරින්ට සහ උත්සවයේ සංවිධායකයින්ට සුබ පැතුම් එක් කළේය.  

‘ ISMM ’ ආයතනයේ සභාපති අයි. ජී. පෙරේරා උත්සවයේ පිළිගැනීමේ කතාව පැවැත්වීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් වෙත ‘ ISMM ’ ආයතනයේ සභාපති විසින් සමරු තිළිණයක් පිරිනමන ලදී.   

‘ ISMM ’ ආයතනයේ සාමාජිකයින්, පාඨමාලා අධ්‍යක්ෂකවරුන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සම්භාව්‍යනීය අමුත්තන් සහ 2016 -2019 පාඨමාලාවේ සිසුන්ගේ ඥාතීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.