සාම සාධක රාජකාරි සඳහා යුද හමුදාවෙන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස

පෙබරවාරි 13, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් යටතේ වාහන රැලි සඳහා ආරක්‍ෂාව සැපයීමේ රාජකාරි සඳහා අවශ්‍ය මූලික පුහුණුව ලබා දීම වෙනුවෙන් ‘හර්මතාන් 3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අරඹයි.

මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන භට පිරිස් වෙත ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම මෙම ක්ෂේත්‍ර අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ බව යුද හමුදාව පවසයි.

ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ඊයේ (පෙබරවාරි 12) දින යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර පෙබරවාරි 16 වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයෙන් අවසන් වේ. යාපනයේ සිට මින්නේරිය දක්වා කිලෝ මිටර් 457.2 ක දුරක් උතුරු ,උතුරු මැද හා නැගෙනහිරි පළාත් තුළ අභ්‍යාසය සිදු කෙරේ.

යුද හමුදාවට අනුව පුහුණු අභ්‍යාසය අදියර පහක් යටතේ සිදුකෙරෙන අතර ඒ සඳහා නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 223ක් සහභාගී වෙයි. අභ්‍යාසය සඳහා සන්නද්ධ රථ, යුනි බෆල් රථ, භාණ්ඩ ප්‍රවාහන රථ ඇතුළුව යුද හමුදා රථ 47ක් යොදා ගනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා එක්ව ඇති යුද හමුදා දෙවන කණ්ඩායමේ වසරක රාජකාරි කාල සීමාව ඉක්මවූ පසු මෙම කණ්ඩායම විසින් එම වගකීම ලබා ගැනිමට නියමිත බව යුද හමුදාව පවසයි.