ඓතිහාසික බෙල්ලන්විල බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

පෙබරවාරි 13, 2021


ගරු. අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 13) දින ඓතිහාසික බෙල්ලන්විල විහාරයේ බෝධිඝරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අරඹමින් සුභ මොහොතින් මුල්ගල තැන්පත් කිරිමේ කාර්යය සඳහා එක්විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් ද මුල්ගලක් තැන්පත් කරන ලදි.

පුරාණ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය තුළ බෝධිඝරය විශේෂ ඉදිකිරීමකි.

අනුරාධපුර යුගයේ සිට සැදැහැති බැතිමතුන්‌ගේ පූජෝපහාර ලබන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙහි වැඩ සිටින බෝධිරාජයාණන් වහන්සේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිරාජයාණන්ගෙන් හට ගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් වේ.

මෙම අවස්ථාවට මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි, බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, නාවික හා ගුවන් හමුදාපතිවරුන් ඇතුළු බැතිමතුන් පිරිසක් මෙම පුණ්‍යෝත්සවය හා එක්වූහ.