ජනපති ප‍්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුව රැස් වේ.

අප්‍රේල් 25, 2019

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කෙරේ….

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ හමුවේ ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලුදෙනා එක්වීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. රටක් වශයෙන් මේ මොහොතේ දී මෙම ත‍්‍රස්තවාදී උවදුර මුලිනුපුටා දැමීමට සහ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිතුමා ඇතුළු රජය ගෙනයන වැඩපිළිවෙළට භේදයකින් තොරව සිය උපරිම සහය ලබාදෙන බවට මෙහි දී සියලු පක්ෂ නායකයෝ සහතික වූහ.

මෙම ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මැඩැලීම වෙනුවෙන් සහ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සහ ජනතාවගේ කටයුතු යථාවත් කිරීමට රජය මේ වන විට ගෙන තිබෙන කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළ ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම නව ප‍්‍රවනතාවය හමුවේ සියලු ආරක්ෂක අංශවල ප‍්‍රතිසංවිධානයක් සිදුකිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, එමඟින් සියලු ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය. දේශපාලන මත සහ අරමුණු පසෙකලා පොදු මහජනතාව වෙනුවෙන් රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟීමට සාමුහිකව කැපවෙමු යැයි ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

මෙහි දී අදහස් දැක්වූ පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙම අවාසනාවන්ත සිදුවීම සහ එහි දී ආරක්ෂක අංශවලින් සිදු වූ අඩු පාඩු පිළිබඳව කරුණු පෙන්වා දුන් අතර, එම අඩු පාඩු නිවැරදි කර ගනිමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. මෙරට ආරක්ෂක අංශ පිළිබ`ද විශ්වාසය තබමින් සහ ඔවුන්ගේ මූලිකත්වයෙන් ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගතයුතු බවත්, සියලු දේශපාලන නායකයන් සහ ආරක්ෂක අංශවලට සම්බන්ධව අත්දැකීම් ඇති සියලුදෙනාගේ දායකත්වය ඊට ලබා ගැනීමේ වැදගත්කමත් මෙහි දී සාකච්ඡාවට ලක් විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් රැසක් ද, පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, කම්කරු ජාතික සංගමයේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්, කදුරට ජනතා පෙරමුණේ නායක අමාත්‍ය වී.එස්, රාධකි‍්‍රෂ්ණන්, ඊපීඞීපී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩග්ලස් දේවානන්ද, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් සහ නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය