නීති විරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් පුද්ගලයින් 179 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පෙබරවාරි 16, 2021

ජනවාරි මස 01 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදා බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධානයන්  විසින් සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 179 ක්, ධීවර යාත්‍රා 42, ලොරි රථයක් සහ ත්‍රීරෝධ රථයක් ඇතුළු ධීවර ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිතා කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී ලෙස මෝර වරල් ලඟ තබා ගැනීම, අනවසර ධීවර කටයුතු සිදු කිරීම, නීති විරෝධී ලෙස හක් බෙල්ලන් හා මුහුදු කූඩැල්ලන් ලඟතබා ගැනීම සහ කැස්බෑ බිත්තර අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කිරීම යන හේතූන් මත මෙම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලේකුඩා, පුනරීන්, චුන්නාගම්, වංකාලේ, නච්ච්කුඩා, බෝගස්වැව, වෙඩිතලතිව්, අරිප්පු, උප්පුවේලි, සල්ලිසාම්බල්තිව්,කල්පිටිය, මීගමුව, කන්දක්කුලිය, කුඩාව, පුත්තලම, නොරෝච්චෝලේ, වෙන්නප්පුව, වාද්දූව, දික්වැල්ල, ගන්දර, ඉරනවිල, ජා ඇල, අලව්ව හම්බන්තොට, යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන බවය.

මෙම පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මන්නාරම, පේසාලේ, සිලාවතුර, කල්පිටිය, පුත්තලම, හම්බන්තොට, කිලිනොච්චිය සහ යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, පිටකොටුව සහ දික්වැල්ල පොලිස් ස්ථාන වෙත මෙන්ම පදවිය ජලජීවී සංවර්ධන අධිකාරිය වෙතද භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව තවදුරටත් පවසයි.

මෙම සියලු  මෙහෙයුම්  සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කර ඇති බව  නාවික හමුදාව තහවුරු කරයි.