දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ ගුණ සැමරේ

පෙබරවාරි 20, 2021

•    ‘ දුපත් රාජ්‍යයක මුහුදු බලය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු’

‘දුපත් රාජ්‍යයක මුහුදු බලය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු’ යන තේමාව යටතේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු 4 වන වාර්ෂික  අනුස්මරණ දේශනය ඊයේ (පෙබරවාරි 19) දින පැවැත්විය.

ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ (විශ්‍රාමික) විසින් එම අනුස්මරණ දේශණය පවත්වන ලදී.

ආරම්භක දේශනය පවත්මින් ආරක්ෂක ලේකම් කියා සිටියේ සාඩම්බර ජාතියක පුරවැසියන් වශයෙන්, LTTE ත්‍රස්තවාදය පරාජය කිරීම, අපගේ මියගිය හා ජීවත්වන රණවිරුවන්ගේ කැපවීම සහ පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් බව අප සියලු දෙනා හදවතින්ම පිළිගත යුතු බවයි.

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ නිර්භිතකම පිළිබඳව සඳහන් කරමින් ‘බලවේගය’ මෙහෙයුමේදී වෙත්තිලකේනි වෙත භට පිරිස් ගොඩබැස්සිම සඳහා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග නාවික හමුදාව විසින් සිදු කරන ලද නාවික මුහුදු මෙහෙයුම පිළිබදව සඳහන් කරමින් ආරක්ෂක ලේකම් එතුමන් විසින් ජාතියට කළ විශිෂ්ට සේවය සිහිපත් කළේය.

1992 දී LTTE ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ අභාවය රටට සිදුවූ විශාල පාඩුවක් බවත්, රාජකාරියේ යෙදී සිටියදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා එතුමන් බවද ජෙනරාල් ගුණරත්න පැවසීය.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සාමය හා සමගිය උදාකිරීමට ඉතිහාසයේ සිට මේ දක්වා මඟ පෑදූ රණවිරුවන්ගේ දේශපේ‍්‍රමිත්වය ගැන සඳහන් කරමින් ඔහු පැවසුයේ, “අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු වැනි මියගිය රණවිරුවන් විසින් රටේ අනාගත පරපුරේ අභිවෘද්ධිය සඳහා කරන ලද පරාර්ථකාමීත්වය සිහිපත් කිරීම සහ ගෞරවය දැක්වීම  රටේ එවැනි දිවි පිදූවන්ට ලබා දිය හැකි මහත් ගෞරවයකි”. යනුවෙනි.

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ නායකත්ව ගුණාංග සහ ඔහු සිදුකළ සේවය මෙහිදී සිහිපත් කළේය.

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද දේශන මාලාව ප්‍රථමවරට වර්ෂ 2017 දී ආරම්භ වූ අතර එහිදී දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් අනුස්මරණය කරන ලදී. ඉන් අනතුරුව 2018 දී මේජර් ජෙනරාල් විජය විමලරත්න සහ 2019 දී කර්නල් ඒ එෆ් ලෆීර් යන නිර්භීත විරුවන් අනුස්මරණය කරන ලදී.

ඊයේ දින පැවති අනුස්මරණ දේශනය නව පරපුරට මෙතෙක් පැවති විශිෂ්ඨ හමුදා උපායන් මෙන්ම ශ්‍රේෂ්ඨ රණවිරුවන් පිළිබඳව ඉගෙන ගැනීමට හා අධ්‍යයනය කිරීමට කදිම අවස්ථාවක් විය.

මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමෙන් පසුව වැඩසටහන ආරම්භ විය. ඉන් අනතුරුව විදේශ අමාත්‍යාංශ ලේකම් සහ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  (විශ්‍රාමික) පිළිගැනීමේ දේශනය පැවැත්වීය.

මෙහිදී දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මැතිතුමාගේ පින්තූරයට මොනිකා ප්‍රනාන්දු මහත්මිය විසින් පුෂ්පෝපහාර දැක්විය.

මෙම අවස්ථාව සනිටුවන් කරමින් අනුස්මරණ දේශනය සිදුකල අද්මිරාල් සමරසිංහ වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරාල් ගුණරත්න විසින් සමරු තිළිණයක් ප්‍රධානය කළේය.

වැඩසටහන අවසන් කරමින් දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ පුත් නිෂාන් ප්‍රනාන්දු මහතා ස්තූති කථාව පැවැත්වීය.

දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික හමුදාපතිවරුන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති, අතිරේක ලේකම් (ජාතික ආරක්ෂාව) ජාතික ආරක්ෂක විද්‍යාලයේ සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක, ආරක්ෂක උපදේශකවරුන් සහ මිත්‍ර විදේශ ජාතීන්ගේ ආරක්ෂක උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.