සම්පූර්ණ සුවය ලැබු කොරෝනා අසාදිතයින් ගණන 80,437 දක්වා ඉහළට

මාර්තු 04, 2021

අද (මාර්තු 04) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 356 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 84,225 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු සිටින අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 104 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 63 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 35 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 133 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (මාර්තු 04) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80,599 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 79,043 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (03) දින තවත් PCR පරීක්ෂණ 10,786 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණයක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 484 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 417 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 80,437 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 3,304 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 95 ක පුද්ගලයින් 9,903ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.