ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 11 ක් සැපිරේ

මාර්තු 04, 2021

ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ එකලොස් වන සංවත්සරය අද (මාර්තු 4) දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු පස්වන විධායක ජනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් වෙරළාරක්‍ෂක පනත බලාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව 2009 අංක 41 දරණ වෙරළ ආරක්‍ෂක පනතට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නැවත ආරම්භ කරන ලදි.

    

එවකට ආරක්‍ෂක ලේකම් හා වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අනුග්‍රහය ඇතිව එහි ආරම්භක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වූ රියර් අද්මිරාල් එල් ඩී ධර්මප්‍රියගේ ප්‍රධානත්වයෙන්  වර්ෂ 2010 මාර්තු මස 04 වන දින ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදි.

 

වර්තමානයේ මෙහි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස රියර් අද්මිරාල් අනුර ඒකනායක කටයුතු කරන අතර එතුමන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හයවන අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වේ.

මෙම සංවත්සර දිනයට සමගාමීව ආගමික කටයුතු සහ සමාජ සුභසාධන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සැමරුම් උත්සව ගණනාවක් සංවිධානය කර ඇත.

සමුද්‍රීය කොල්ලකෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී අවිධිමත් මත්ස්‍ය ඇල්ලීම් කටයුතු, නීති විරෝධී භාණ්ඩ ජාවාරම් මැඩපැවැත්වීම හා මහ සයුරේ සිදුවන මිනිස් ජීවිත සහ දේපල වලට වන හානිය අවම කිරීම, සුරක්‍ෂිත භාවය තහවුරු කිරීම, ආපදා වලදී නෞකා වෙත අවශ්‍ය සහය ලබාදීම, සමුද්‍ර දුෂණය වැලැක්වීම හා ප්‍රතිචාර දැක්වීම, සමුද්‍ර සෙවුම් හා මුදවාගැනීමේ මෙහෙයුම් සිදුකිරීම, වෙරළ තීරය, සමුද්‍රීය ජීවින් සහ සමුද්‍රීය පරිසරය ආරක්‍ෂා කිරීම, ස්වාභාවික උපද්‍රව වලදී මහජනයාට සහායවීම යන කාර්ය භාරයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ.

 

වේග මුර යාත්‍රා කිහිපයකින් ආරම්භ වූ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකා සහ යාත්‍රා බලඇණිය වර්තමානය වන විට ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවකින්, වේග මුර නෞකා දෙකකින්, වේග මුර යාත්‍රා 10 කින්, වෙරළබඩ මුර යාත්‍රා හා වරාය ආරක්‍ෂක යාත්‍රා කිහිපයකින් සමන්විත වේ.

මෙලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමෙහිලා කලාපීය රටවල් සමග මෙන්ම අන්තර් ජාතික සංවිධාන සහ ආයතන සමග මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලබයි.

දේශිය සහ විදේශිය සංචාරකයින්ගේ ජීවිතාරක්‍ෂාව සැලසීම උදෙසා බලපිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇති වෙරළ ආරක්‍ෂක ජීවිතාරක්‍ෂක පුහුණු පාසල මගින් ජාත්‍යන්තර මට්ටමේ ජීවිතාරක්‍ෂාව පිළිබඳ පුහුණු පාඨමාලාවන් පවත්වාගෙන යනු ලැබේ.

සමුද්‍ර තිරසර සංවර්ධනය, ජාතික සමුද්‍රීය නීති බල ගැන්වීම සහ මතු පරපුර උදෙසා සමුද්‍ර පරිසරය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව දක්වන දායකත්වය අති විශාලය.