මිහිඳු මහා සෑයෙහි පෙර පැවති ශ්‍රී විභූතිය ළඟදීම යලිත් වරක් දැකගත හැකිය - ආරක්ෂක ලේකම්

මාර්තු 06, 2021
  • වසර අවසන් වනවිට සඳහිරු සෑය වන්දනා කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව.

මේ වසරේ ඔක්තෝම්බර් වන විට ‌ෛඑතිහාසිකව සුවිශේෂී වන  මිහින්තලේ මිහිඳු මහා සෑය බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලැබෙන බව ආරක්ෂක ලේකම් අද (මාර්තු 6) දින පැවසීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෑතකදී ‘මිහිඳු මහා ස්ථූපය’ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සිහිපත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී ඇති බවයි.

අද දින අනුරාධපුරයේ පූජනීය ස්ථාන කිහිපයක සංචාරය කළ අවස්ථාවේ දී මිහින්තලේ රජමහා විහාරයේ මිහිඳු මහා සෑය වැඳුම් පිදුම් කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය යෙදෙන වප් පුර අටවක පොහොය දිනය වනවිට අවසන් වන බව ඔහු තවදුරටත් පැවසීය.

මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරත්න හිමියන්ද සංචාරයේ නිරතවූ රාජ්‍ය නියෝජිතයන් සමග එක් විය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් යුද්ධයේදී මියගිය අභීත රණවිරුවන් වෙනුවෙන් 2010 වසරේ දී ඉදි කිරීම් ආරම්භ කරනු ලැබූ  සඳහිරු සෑයෙහි සියලු වැඩකටයුතු මෙම වසරේ නොවැම්බර් වනවිට අවසන් කර බැතිමතුන්ට වන්දනාමාන සදහා අවස්ථාව සලසා දෙන බවද ඔහු පැවසීය.

සඳහිරු සෑයේ වර්තමාන ප්‍රගතියද එහිදී ආරක්ෂක ලේකම්ගේ පරීක්ෂාවට ලක්විය.

අම්පාර දිස්ත්‍රික්කයේ දීඝවාපී ස්තුපය පිලිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු මෑතකදී ආරම්භ කල බැවින් එම කටයුතු අවසන් කිරීමට වසර 3ක් පමණ ගතවන බවයි.

සඳහිරු ස්ථූපයේ යෝජිත වාහල්කඩෙහි නිධන්වස්තු තැන්පත් කිරීමද සංචාරයේ දී සිදු විය.

මහමෙව්නා සංඝ සභාවේ ලේකම් සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන අනුසාශක පූජ්‍ය අලුදෙනියේ සුභෝධි හිමියන්, පූජ්‍ය පොල්පිතිමුකලානේ පඥ්ඥාසිරි හිමියන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර, 21 වන බලසේනාවේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, ආඥාපති උතුරුමැද නාවික විධානය රියර් අද්මිරාල් සංජීව ඩයස්, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී දිනේෂ් නානායක්කාර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ව්‍යාපෘති භාර නිලධාරීන් සහ ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කලාකරුවන් සහ පරිත්‍යාගශීලීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.