තනි පුද්ගලයකුගේ කැමැත්තකට අනුව රටේ නීති වෙනස් කළ නොහැකියි - ආරක්ෂක ලේකම්

මාර්තු 14, 2021

“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය‍.
 
“මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතුය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි” බව පවසමින් ඔහු තවදුරටත් පැවසුවේ “ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකිය”, යනුවෙනි.

තවද “සාධාරණීකරණය කළ නොහැකි දේවල් කිසිවෙකුට සාධාරණීකරණය කළ නොහැකියි. එසේම ජනතාව සහ ආගම් අතර සහයෝගීතාවයට සහ සංහිදියාවට අහිතකර ඕනෑම දෙයකට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීමට අපි සූදානම්”, බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 14) උදෑසන මහරගම මහමේඝාරාමයේදී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

මහරගම මහමේඝාරාමයේ වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය අංකුඹුරේ සුගුණපාලාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 27 වෙනි ගුණ සමරු මහා පුණ්‍ය කර්මය සඳහා අද දින ආරක්ෂක ලේකම්වරයා සහභාගි විය.

මහමේඝාරාම විහාරස්ථානයේ පැවති උත්සවයේදී අඩු ආදායම්ලාභී පවුල් විශාල පිරිසක වියළි සලාක මළු සමඟ මුදල් පරිත්‍යාග සිදුකරන ලදී.

මහරගම මහමේඝාරාමයේ විහාරාධිපති අංකුඹුරේ අමරවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය සහ බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.