යාපනයේ ගොවී නිෂ්පාදන යුද හමුදා සාමාජිකයින්ට සහන මිලට

මාර්තු 16, 2021

ගොවීන් සහ ආරක්‍ෂක හමුදාවන් අතර සුහදතාවය හා සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යාපනයේ වගා කරන ලද එළවළු සහ පළතුරු යුද හමුදා සාමාජිකයින්ට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය දිනක ආරම්භ කරන ලදි.

මිලදී ගත් නිෂ්පාදන යාපනයේ අර්ධද්වීපයේ රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයින් වෙත සහනදායී මිලගණන් යටතේ අලෙවි කිරීම සිදුකල අතර, යාපනය ගොවීන්ගෙන් මිළදී ගන්නා එළවළු සහ පළතුරු කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර යුද හමුදා සුභසාධන මධ්‍යස්ථාන හරහා හමුදා සාමාජිකයන් වෙත බෙදාහැරීමට කටයුතු පිළියෙල කර ඇති බව යුද හමුදාව පවසයි.

මෙම ව්‍යාපෘතිය මගින් යාපනයේ ගොවි ප්‍රජාවන්ට දිගුකාලීනව සහන රැසක් සැලසේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.