නැගෙනහිර පළාත් පොසොන් උත්සවය මෙවර දීඝවාපියේදී - ආරක්‍ෂක ලේකම්

මාර්තු 17, 2021

මෙවර නැගෙනහිර පළාත් පොසොන් උත්සවය ආගමිකවතාවත් වලට මුල් තැන දෙමින් දීඝවාපී පුදබිමේදී සැමරීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 17) පැවසීය.

නැගෙනහිර පළාත් පොසොන් උත්සවයට සමගාමීව ස්ථූප පරිශ්‍රයේ කැණීම් වලදී සොයාගන්නා ලද දැනට අම්පාර දිසාපති කාර්යාලයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා හා කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරල් වරයාගේ කාර්යාලයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා ඓතිහාසික දීඝවාපී පුජා භූමියට වැඩමවා බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව සලසා දෙන බවද ඔහු තවදුරටත් පැවසීය.

ධාතූන් වහන්සේලා බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් පසු ස්ථූපයේ ප්‍රතිසංස්කරණය කටයුතු නිමවන තෙක් දීඝවාපී පුජා භූමියේ ධාතු මන්දිරය තුළ තැන්පත් කෙරෙනු ඇත. පසුව එම ධාතූන් වහන්සේලා ස්ථූපයේම තැන්පත් කරන බව ඔහු පැවසීය.

පොහොය දින වැඩසටහනට දිවයිනේ ප්‍රසිද්ධ සුමධුර ධර්ම දේශකයන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් ධර්ම සාකච්ඡා මාලාවක් පැවැත්වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේය.

දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කටයුතු පිළිබඳව නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න, ස්ථූපයේ  පෙර පැවති ශ්‍රී විභූතිය වසර 3 ක් තුළ නැවත ඇති කරන බවට පැවසු අතර, මීට පෙර අවස්ථා කිහිපයක දී ස්ථූපයේ ප්‍රතිසංස්කරණයට ගත් උත්සාහයන් නිෂ්ඵල වු බවද සිහිපත් කළේය.

ප්‍රතිසංස්කරණ කටයුතු හුවා දක්වමින් ඔහු කියා සිටියේ “පැමිණෙන බැතිමතුන් සඳහා අංගසම්පූර්ණ විශ්‍රාම ශාලවක් සහ නා, ඇහැල වැනි ගස් වලින් පිරී ගිය නිස්කලංක පරිසරයක් ඇති කරනවා”, යනුවෙනි.  

ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා දක්වන දායකත්වය ද අගයමින් ඔහු පැවසුවේ මේ සදහා දිනකට අවශ්‍ය 30,000 ක ගඩොල් අවශ්‍යතාවය දිනපතා නිෂ්පාදනය කිරීම හා සැපයීම යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව  සිදු කරනු ලබන බවයි.
 
මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රි ලාංකීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව “දීඝවාපිය භාරකාර අරමුදල” යටතේ ලංකා බැකුවේ ‘දීඝවාපිය අරුණ’ නමින් පිහිටුවා ඇති ගිණුමට හැකි අයුරින් දායක වන ලෙසයි.   

ස්ථූපයේ තෙවන අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව, එම ස්ථානයේ පැවති රැස්වීමකදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ලාහුගල ප්‍රදේශයේ පරිහාණියට පත්වෙමින් ඇති  නීලගිරි ස්ථූපය ප්‍රතිසංස්කරණය  හා සංරක්ෂණය කිරීම සඳහා වූ හැකියාවන්ද දූත පිරිසේ නිරීක්ෂණයට ලක් වූයේ  නීලගිරි විහාරයේ  ප්‍රධාන නාහිමි ඉඳිගස්වැල්ලේ පුඤ්ඤසාර හිමියන්ගේ  මග පෙන්වීම මතයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්, කොළඹ ශ්‍රි සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමියන් ,මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අම්පාර දිසාපති  ඩී.එම්.එල්. බණ්ඩාරනායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, නැගෙනහිර පළාත් ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම් ජීවන්තී සේනානායක, ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ මිනින්දෝරුවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

වැඩි විස්තර