ශ්‍රී ලංකා සහ පාකිස්තාන යුද හමුදාව එක්ව 'Shake Hands 1' අභ්‍යාසය සඳහා සාලියපුරදී අරඹයි.

මාර්තු 19, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව සහ පාකිස්තාන යුද හමුදාව අතර දීර්ඝ කාලීනව පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින් හමුදා දෙකෙහි සමාජිකයින් සම්බන්ධ වන 'Shake Hands 1 ද්විපාර්ශවික අභ්‍යාසය පසුගිය දා සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.

උපාය මාර්ගික යුද මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රතිවිප්ලවවාදී යුද උපක්‍රම, ත්‍රස්තවාදය / අන්තවාදයට එරෙහි ඒකාබද්ධ යුදමය ප්‍රහාර, ආරක්‍ෂාව හා ලුහුබැඳීම, ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සොයා ප්‍රහාර එල්ල කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම, ත්‍රස්තවාදීන්ගේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, කැරලිකරුවන් පිළිබඳ ඔත්තු බැලීම, ප්‍රහාර සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම යනාදි විෂය පථයන් මෙම අභ්‍යාසය තුලින් ආවරණය වේ.

පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 කින් සමන්විත මෙම අභ්‍යාසය මාර්තු 31 දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වේ.