එක්සත් ජනපද නාවික නෞකා දෙකක් දිවයිනට

අප්‍රේල් 19, 2019

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) දින දිවයිනට සේන්දු වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. හම්බන්තොට වරායට සේන්දු වූ එක්සත් ජනපද නෞකා දෙක, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 103 ක් වන ‘මිලිනොකට්’ සහ දිගින් මීටර් 155 .3 ක් වන ‘ස්පෘඅන්ස්’ යන නෞකාවන් මුහුද ආශ්‍රිත සහ වෙරළාශ්‍රිත වශයෙන් අධියර දෙකක් යටතේ සිදු කරනු ලබන මෙම නාවික අභ්‍යාසයන් සඳහා එක්වීමට නියමිතය. සාගරික ආරක්ෂක හැකියාවන් හා මෙහෙයුම් දායකත්වය වර්ධනය කර ගැනීම අරමුණු කරගෙන පවත්වනු ලබන මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සයුරළ’ සහ ‘සමුදුර’ යන නෞකාවන් එක්වීමට නියමිතව ඇත.