ජාතික ආරක්‍ෂාව, ත්‍රස්තවාදය හා මානව හිමිකම්

මාර්තු 23, 2021

සඳුන් ගුණවර්ධන LL.B (Colombo), LL.M (KDU) & Attorney at Law

යහපත් සමාජ ජීවිතයක් ගෙන යාම සඳහා පුද්ගලයකු හට අවශ්‍ය සමාජ ඉඩ ප්‍රස්ථාවන් අයිතිවාසිකම් වශයෙන් සරලව විග්‍රහ කළ හැකියි. 1948 දෙසැම්බර් මස 10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයෙන් පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ මුරගල වශයෙන් සැලකිය හැකි අතර මෙම අන්තර් ජාතික නීතිමය මග පෙන්වීම අනුගමනය කරමින් ලෝකයේ රාජ්‍යයන් තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා නීති සකස් කර ඇත. නිදර්ශණයක් ලෙස අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සිට 17 දක්වාවූ වගන්ති මගින් ශ්‍රී ලාංකීය පුරවැසියන්හට උරුමවන මූලික අයිතිවාසිකම් පිළිබඳව විග්‍රහ කර ඇත.

හෘද සාක්‍ෂියේ හා ආගමික නිදහස, සර්ව සාධාරණත්වයේ අයිතිය, නිදහසේ ඔබ මොබ යාමේ නිදහස, වෙනස් කොට සැලකීමට භාජනය නොවීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් වැලකීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි අයිතිවාසිකම් විශේෂයෙන් සඳහන් කළ හැකියි.

"Your right to swing your arms ends just where the other man's nose begins"

"ඔබේ දෙඅත් රිසිසේ ඔබ මොබ චලනය කිරීමේ ඔබට ඇති අයිතිය ඔබ සමීපයේ සිටින අනෙක් පුද්ගලයාගේ නහය අසලින් කෙලවර විය යුතුය".

මානව හිමිකම් පිළිබඳව හා පුද්ගල නිදහස ඉහත කී ප්‍රකාශයෙන් අපූරුවට පැහැදිලි කරයි. එනම් සෑම අයිතිවාසිකමක් පිටුපසම පුද්ගලයකු හා බැඳී පවතින යුතුකමක් පවතින අතර, පුද්ගල නිදහස භුක්ති විදිය යුතුවන්නේ අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි වේ. එනම් පොදුජන යහපත උදෙසා පුද්ගල අයිතිවාසිකම් යම් යම් අවස්ථාවන්හිදී සීමාවන්ට ලක්විය හැකි බව නීතියෙන් පවා පිළිගනී. අප රටේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය මගින් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් සීමාවන්ට ලක්විය හැකි අවස්ථාවන් විග්‍රහ කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය ප්‍රකාරව ඇතැම් මූලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ,

  •         රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම් වලට යටත්වය.
  •         වාර්ගික හා ආගමික සහයෝගීතාවයට බාධාවක් නොවන පරිදි වේ.
  •         අධිකරණයට අපහාසයක් සිදුනොවන පරිදි වේ.
  •         ජාතික ආර්ථිකයට හා ජාතික ආරාක්‍ෂාවට තර්ජනයක් නොවන පරිදි වේ.

අයිතිවාසිකම් භුක්ති විදිය හැකිවන්නේ ඔවුන් තුළින් සමාජයට ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන අන්‍යයන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට සත්භාවයෙන්ම කටයුතු කරන පුද්ගලයන්හට මිස සමාජය අනතුරේ හෙළන සමාජයට තර්ජනයක් වන පුද්ගලයන් හට නොවන බව මූලිකවම වටහා ගත යුතුවේ. මෙම අයිතිවාසිකම් හා යුතුකම් හා ඒවායේ සීමාවන් පිළිබඳ නෛතික තත්ත්වය එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ 29 වන වගත්තිය මගින්ද විග්‍රහ කර ඇත.

ත්‍රස්තවාදය යන්න පිළිබඳ ජාත්‍යන්තරව පොදුවේ පිළිගත් නිර්වචනයක් නොමැති අතර, විවිධ ජාතීන් විසින් විවිධාකාරයෙන් එය අර්ථ නිරූපණය කර ඇති බවද නිරීක්‍ෂණය වේ.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව සැලකීමේදී 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් හෝ මහජන ආරක්‍ෂක ආඥා පනත මගින් හෝ ත්‍රස්තවාදය යන්න අර්ථ නිරූපනයට ලක්කර නොමැත. මෙම නීතිමය හිදැස පිළිසකර ගැනීම සඳහා අංක 1474/5 - 2006 දෙසැම්බර් 06 වැනි දිනැති ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ 20 වන වගත්තිය මගින් පුළුල් අර්ථ නිරූපණයක් සිදුකර ඇති බව දක්නට ලැබේ.

එම අර්ථ නිරූපනය අනුව නිතැතින්ම පෙනෙන කරුණක් වන්නේ ත්‍රස්තවාදය පවතින පසුබිමක් තුළ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් නිරායාසයෙන්ම පුද්ගලයන්හට අහිමිවී ඇති බවයි. තිස් වසරකට අධික කාලපරාසයක් LTTE ත්‍රස්තවාදයෙන් බැටකෑ ජාතියක් ලෙසත්, මෑත කාලීනව අන්තවාදී ත්‍රස්තයින්ගේ කුරිරු ත්‍රස්ත ක්‍රියා ඇසින් දුටු ජාතියක් වශයෙනුත්, ත්‍රස්ත ක්‍රියා හමුවේ මානව හිමිකම් උල්ලංඝනය වු අයුරු තහවුරු කිරීමට අපමණ සාක්‍ෂි ලැයිස්තුගත කළ හැකිය.

වරෙක LTTE ත්‍රස්තවාදීන් මාරාන්තික ප්‍රහාර එල්ල කරනු ලැබුවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ ශ්‍රී මහා බෝධිය හා දළදා මාලිගාවටයි. මෑත කාලීනව අන්තවාදීන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පාස්කු ඉරිදා පල්ලියේ ආගම ඇදහු අහිංසක කතෝලික ජනතාව ඉලක්ක කරගෙනයි. තවත් අවස්ථාවකදී අරන්තලාවේ භික්‍ෂුන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබුවේද LTTE ත්‍රස්තවාදීන් විසිනි. අකුරැස්ස ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ පැවති උත්සවයකදී  LTTE ත්‍රස්තවාදීන් මාරාගෙන මැරෙන ප්‍රහාරයක්  එල්ල කරනු ලැබුවේ ඉස්ලාම් භක්තිකයින් ඉලක්ක කරගෙනයි. එනම් යම් පුද්ගලයකුට නිදහසේ ආගමක් ඇදහීමට ඇති අයිතිය මෙහිදී ඉඳුරාම ත්‍රස්තවාදය විසින් උල්ලංඝනය කර ඇත. පුද්ගලයකු හට තම ආගම ඇදහීමේ අයිතිය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති පරම අයිතියක් වශයෙන්ද සලකයි.

එක්තරා කාල පරිච්ඡේදයකදී LTTE ත්‍රස්ථවාදීන් සෘජුව සිය ඉලක්කයක් සපුරාලීම සඳහා පොදු ප්‍රවාහන සේවා වන දුම්රිය, පොදු බස්රථ තුල හා සාමාන්‍ය ජනතාව සඳහා වෙන්වු සිවිල් ස්ථානයන්හීදි බෝම්බ පුපුරවා හරිමින් සමස්ථ සිවිල් වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය (Right to life) පවා අහිමි කිරීමට ක්‍රියාකල ආකාරය ශ්‍රි ලාංකිකයන් හට අමතක නොවනු ඇත. අනුකම්පා විරහිත ත්‍රස්ථවාදීන්ගේ මෙවැනි ප්‍රහාරයන් හරහා කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ වැඩිහිටියා දක්වා වූ පුද්ගල ජීවිතවලට අකාලයේ නැවතීමේ ලකුණ තැබීමට සිදුවු බව නොරහසකි.

තවද පොදු මහා මාර්ග අවහිර කර දැමීම හා දුම්රිය මාර්ග විනාශ කර දැමීම පමණක් නොව ජනතා සුභසාධනය උදෙසා ගොඩනැගූ ජල ටැංකි පුපුරවා බිම හෙළිමට පවා ත්‍රස්තවාදීන් කුරිරු වූ බව පෙනේ. මෙවැනි ක්‍රියා මානව හිමිකම් නීතිය (Human Rights Law) යටතේ පමණක් නොව ජ්‍යාත්‍යන්තර මානුෂියවාදී නීතිය (International Humanitarian Law) යටතේ පවා ඉඳුරාම නීතිවිරෝධි ක්‍රියා බව සක්සුදක්සේ පැහැදිලිය.

LTTE ත්‍රස්තවාදීන් තම මතයට එකඟ නොවූ අහිංසක දමිළ වැසියන් පවා ඝාතනය කිරීමට පසුබට නොවූ බවටද අතීතය සාක්‍ෂි දරයි. ලක්ෂ්මන් කදිරගාමර් මහතා වැනි බුද්ධිමතුන් පමණක් නොව මැතිවරණයකදී ඡන්දය භාවිත කළ සිවිල් වැසියන් ඝාතනය කිරීමටත් අත්පය කපා ම්ලේච්ඡ දඩුවම් පැමිණවීමටත් කටයුතු කළ අතර, ස්වෝත්සාහයෙන් නැගීසිටි දෙමළ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් මුදල් එකතු කරමින් ඔවුන් පීඩාවට පත්කිරීමටත් කෲර හා අමානුෂික දඬුවම් හා වදහිංසා පැනවීමටත් නිත්‍යානුකූල නොවූ LTTE පොලීසි, රැඳවුම් කඳවුරු හා අධිකරණ මගින් කටයුතු කළ බවත් ඒවා ව්‍යවස්ථානුකූල ආයතන නොවන බවත් නීතියේ ආධිපත්‍යට (Rule of Law ) පවා බරපතල තර්ජනයක් වූ බවද සඳහන් කළයුතු වේ.

මාවිල්ආරු අමුණ වසා දමමින් ත්‍රස්තවාදීන් ක්‍රියාක‍ලේ සිවිල් පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම මිස රජයේ හමුදාවන්ට හානි පැමිණවීමට නොවේ. එහිදී පුරවැසියන්හට සොබා දහමේ උරුමයක් වු නිදහසේ ජලය භාවිතා කිරීමට පිපාසයට සත්වයන්ට පවා ජල බිඳක් ලැබීමේ අයිතිය පවා උල්ලංඝනය වු බවත්, බාධාවන්ගෙන් තොරව කෘෂිකාර්මාන්තය හා අනෙකුත් වෘත්තීන්හි නියලීමට ඇති අයිතියද උල්ලංඝනය වු බව සඳහන් කළ යුතු වේ.

ත්‍රස්තවාදය පැවති ඒ අඳුරු අතීතය තුල ශ්‍රී ලාංකීය පුරවැසියන් හා දිවයිනේ උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශ වෙත ගමන් කිරීම පවා සිහිනයක් වු බව සඳහන් කළ යුතු වේ. ඒ තුල පුද්ගලයකුට තමා කැමති ස්ථානයක පදිංචිවීම හා බියෙන් සැකෙන් හා පීඩනයෙන් තොරව ඔබ මොබ යාමේ අයිතිවාසිකම් ද  (Freedom of movement) උල්ලංඝනය වු බව පෙනේ.

රටේ පවතින නීතියට පටහැනිව හා ළමා අයිතිවාසිකම් (Child’s right) උල්ලංඝනය කරමින්, කුඩා දරුවන් ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගනිමින් ඔවුන් යුදමය කටයුතු සඳහා පුහුණු කරවමින් ඔවුන්ගේ සොඳුර ළමාවිය උදුරා ගැනීමට පවා ත්‍රස්තවාදීන් කටයුතු කළ බව සිහිකරනු කැමැත්තෙමි. ඒ තුළ අහිංසක දරුවන්ගේ අධ්‍යාපන අයිතිය (Right to Education) අහිමි විය.

එනම් ත්‍රස්තවාදය පවතින ස්ථානයක පුද්ගල අයිතිවාසිකම් යනු සුරංගනා කතාන්දරයක් පමණක් බව සක්සුදක්සේ පැහැදිලිය. මුලිකවම ත්‍රස්තවාදීන් පුද්ගලයින්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන බැවින් ජීවත්වීමේ අයිතිය තහවුරු නොවන වටපිටාවක් තුළ අනිකුත් අයිතිවාසිකම් ගැන කථා කිරීම පවා හාස්‍ය උපදවන කරුණක් වේග පිපාසයෙන් දැවෙන පුද්ගලයකුහට මුලිකවම හිමිකර දිය යුත්තේ දිය පොදක් මිස පැලදීම සඳහා මල් මාලයක් නොවේ. ජීවත්වීම පිළිබඳ බියෙන් සැකෙන් හා පීඩිතයන්ගෙන් පසුවන සමාජයක මුලිකවම තහවුරු කල යුත්තේ ජීවිත්වීමේ අයිතිය මිස නිදහසේ ඔබ මොබෙ යාමේ අයිතිය නොවේ. ජීවත්වීමේ අයිතිය තහවුරු කරන තෙක් නිදහසේ ඔබ මොබ යාමේ අයිතිය යම්තාක් දුරකට සීමා විය හැකි අතර, එය ජාතික ආරක්‍ෂාවේ අවශ්‍යතාවය වෙනුවෙන් හා පොදුජන යහපත උදෙසා දරාගැනීමට මුලු මහත් සමාජයම වගබලා ගතයුතුවේ.

ඒ අනුව ත්‍රස්තවාදීන් හට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවන්හට බලය දෙමින් ශක්තිමත් නීති පැවතීම අතිශය වැදගත් වේ. මහජන ආරක්‍ෂක පනත හා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් මෙහිදී විශේෂ බලතල ත්‍රස්තවාදීන් එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා බලධාරීන් වෙත ලබා දී ඇත.

නිදර්ශනයක් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 37 වගන්තිය ප්‍රකාරව යම් අපරාධ වරදක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයකු පැය 24 ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් නීතියෙන් බැඳී ඇතත්, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු සහකාර පොලිස් අධිකාරීවරයකුගේ අනුමැතිය යටතේ පැය 72ක් රඳවා ගනිමින් විමර්ශණ කටයුතු සිදුකර ඉන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 6 සහ 7 වගන්තිය ප්‍රකාරව පොලීසිය වෙත බලය ලබා දී ඇත. ඇතැම් අවස්ථාවන් වලදී සිවිල් පොලිස් නිලධාරී හට පවා ත්‍රස්තයින් විසින් බලය තහවුරු කරගත් ප්‍ර‍දේශ වල ප්‍රබල ත්‍රස්ත ක්‍රියා හේතු කොටගෙන විමර්ශණ කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකියි. LTTE ත්‍රස්ථවාදය පැවති යුගයේ ඇතැම් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පොලිස් රාජකාරි සිදුකිරීමට නොහැකිවීම මීට කදිම නිදසුනකි. එවැනි අවස්ථාවලදී ත්‍රස්තයින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර කිරීමේ බලය හා ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීමේ නෛතික බලයද ත්‍රිවිධ හමුදාවන්ට පැවතිය යුතුවේ. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් තහවුරු කර ඇත.

තවද, 1997 අංක 30 දරණ ඇප පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප පනතේ විධි විධාන බලාත්මක නොවන බව ඇප පනත මගින්ම ප්‍රකාශිතව සඳහන් කර ඇත.

එනම් නීති සම්පාදනයකින් පවා ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ශක්තිමත් පදනමක් ලබාදී ඇති බව පෙනේ. එනම් නීති මගින් නිලධාරීන් හට මෙවැනි විශේෂ බලයක් හිමිගන්වා ඇත්තේ ත්‍රස්තවාදය යනු ඉතා බරපතල ව්‍යසනයක් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය අපරාධ වරදක චුදිතයකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා බරපතල කර්තව්‍යයක් බව නීති විශාරදයින් පවා අවබෝධ කර ගෙන ඇති බැවිනි.

ත්‍රස්තවාදීන් යනු සාමාන්‍ය පුරවැසියන් මෙන් සරළව අපරාධ කරන පිරිසක් නොවන අතර, නූතන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් මනා ලෙස සැලසුම් කරමින් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරමින්, කරුණු වසන් කරමින්, ඉතා බිහිසුනු, මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු හා මිලේච්ඡ අපරාධ සිදුකිරීමට සංවිධානාත්මකව කටයුතු කරන පිරිසක් වේ. ඇමරිකානු ආරක්‍ෂක මධ්‍යස්ථානය වූ පෙන්ටගනයට එල්ල කළ ඔසාමා බින් ලාඩන්ගේ සැලසුම් සහගත ප්‍රහාරය හා ISIS ත්‍රස්තයින්ගේ සැලසුම් සහගත ක්‍රියා කලාපයන්  මීට කදිම නිදසුන් වේ. එය ගමක සිදුවු සරල සොරකමක් විමර්ශනය කර අධිකරණය වෙත කරුණු වාර්තා කරනවා මෙන් පහසු කටයුත්තක් නොවන බව පොලිස් නිලධාරීන් හා ආරක්‍ෂක නිලධාරීන් ඉතා හොදින් දන්නා කරුණකි.

එනම් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ නීතියක් පැවතිය යුතු බව ඉතා පැහැදිලි කරුණක් වන අතර, දැනට පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් මෙකී කාරණය සඳහා අවශ්‍ය ශක්තිමක් නෛතිකමය පදනමක් සපයයි.

එහෙත් මීට අමතරව අන්තර්ජාලය හරහා සයිබර් අවකාශය තුළ සිදුකල හැකි ත්‍රස්ත ක්‍රියා මැඩලීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැකසීම ත්‍රස්තවාදය මැඩලීම සඳහා අන්තර්ජාතික සහයෝගය ලබාගැනීමට, තාක්‍ෂණික සහය ලබාගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකසා වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ත්‍රස්තවාදය වැලක්වීමේ පනත තවදුරටත් ශක්තිමත් කිරීම සිදුකල යුතු බව පෙනේ.

මේ අනුව සමස්ථයක් ලෙස ගත්විට, ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම යනු මානවයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සම්බන්ධ උත්තුංග ක්‍රියාපටිපාටියක් බැවින් ඒ සම්බන්ධ ශක්තිමත් නීති පැවතීමෙන් නිලධාරීන්ට ඵලදායී ලෙස විමර්ශනයන් කිරීමටත්, අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමටත් අවශ්‍ය නෛතික වටපිටාව ශක්තිමත් කිරීමටත් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අතිශය වැදගත් වේ.

(විවිධ සම්පත් දායකයින් විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂාංග ලිපිවල අන්තර්ගතයන් පිළිබඳ මෙම අමාත්‍යාංශය වගකීමට නොබැඳේ)