රුපියල් මිලියන 71 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මාර්තු 23, 2021

නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ ඊයේ (මාර්තු 22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, ඒ අනුව, උතුරු නාවික විධානය මගින් වෙත්තලකේණි අලියාවලෙයි ප්‍රදේශයේ මාර්ග බාධක යොදා සිදුකළ විශේෂ පරීක්‍ෂාවකදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු ටිපර් රථයක් නිරීක්‍ෂණය කර සිදුකළ පරීක්‍ෂාවේදී, එහි ‍පොලිතින් උර 07 ක පාර්සල් 100ක් වශයෙන් අසුරන ලද කිලෝ 239 ග්‍රෑම් 850 ක් පමණ වන කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය. මෙහිදී එම කේරළ ගංජා තොගය, ටිපර් රථය සහ එහි ගමන් ගත් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 71.9 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 34 යන වයස් වල පසුවන වෙත්තලකේණි මුල්ලියන් සහ අලියාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ටිපර් රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උපුටා ගැනීම:-www.navy.lk