නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් රුක් රෝපණ වැඩසටහනක්

මාර්තු 24, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ලෝක වනාන්තර දිනය නිමිත්තෙන් සියලු නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදි.

බටහිර නාවික විධානයේ පැවති එහි ප්‍රධාන වැඩසටහන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 21 වන දින වැලිසර, නාවික හමුදා ගැමුණු කඳවුරු පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා අවශ්‍ය පැල ‘තුරු සංසදය’ පාරිසරික සංවිධානයේ සම්බන්ධීකරණයෙන් එල්බී ෆිනෑන්ස් සමාගමේ අනුග්‍රහයෙන් ලබා දී ඇති බව නාවික හමුදාව පවසයි.

ලෝක වනාන්තර දිනය සංකේතවත් කරමින් මී පැල රෝපණය කිරීම සදහා නාවික හමුදාපති, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය, සේවා වනිතා ඒකකයේ නව උප සභාපතිනී දිළිණි වෑවිට මැතිණිය මෙන්ම බටහිර නාවික විධානයේ ආඥාපති ‍සහ සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකා අයෝණි වෑවිට මැතිණිය ඇතුළු පිරිස විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී විය.