නැගෙනහිර සහ උතුරු පළාතේ ගොවි ප්‍රජාව දිරිගන්වයි

අප්‍රේල් 19, 2019

නැගෙනහිර පළාත විශාල කුඹුරු යායවල් සහ වැව් සඳහා ඉතා ප්‍රසිද්ධය. මෙම කලාපයේ බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. ප්‍රදේශය පුරා විහිදී ඇති විශාල සහ කුඩා වැව් ජාලයකින් කෘෂිකර්මාන්තය සඳහා ජලය සපයනු ලබයි. මෙම වැව්, කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් විවිධ ජනවර්ග වලට අයත් ප්‍රදේශයේ ජනතාවගේ ජීවනාලිය වේ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් මෑතකදී ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා බෙහෙවින් ඉවහල්වන නෙදුන්කුලම් සහ වෙට්ටිකුලම් යන වාරි වැව් දෙක සහ වාරි පද්ධතිය සම්පුර්ණයෙන්ම පිරිසිදු කිරීමේ කාර්යය සාර්ථකව නිම කළහ. පසුගියදා වෙබර් ක්‍රීඩාංගනයේ පැවති ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමිව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව හමුදා භටපිරිස් විසින් මෙම වැව් පිරිසිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සිදුකරන ලද ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද සතුරුක්කොන්දන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාබී පවුල් සඳහා ඉදිකරන ලද කඩකාමර 25 සහ පිරිසිදු කරන ලද වැව් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය පසුගිය 12 වන දා (අප්‍රේල්) පැවැත්විණි. මෙම උත්සවය සඳහා සහභාගී වූ 5500 කට අධික පිරිසක් සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවා ආහාරය ද ලබාදෙන ලදී. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙන ලදී.