වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් දෙකක් සඳහා නව නිවාස

අප්‍රේල් 18, 2019

පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ මුල්‍යමය දායකත්වයෙන් වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අඩු ආදායම් ලාභී පවුල් දෙකක් සඳහා ලබාදීම පසුගියදා සිදුකරන ලදී. මේ අතරින් වව්නියාව ගනේෂපුරම් ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස හිමි වූ අඩු ආදායම් ලාභී පවුලෙහි එක් දරුවෙකු පසුගියදා ප්‍රතිපල නිකුත් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික්කයෙන් තුන්වන ස්ථානයට පැමිණ තිබුණි.

ඉතා කුඩා නිවසක ජීවත් වූ ආර්. නිවරසානා (11) දැරියගේ පවුල පිළිබඳව දැනගත් යුද්ධ හමුදා භටපිරිස් ඇයටද නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවාස ඉදිකිරිම සඳහා තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය 211 බලසේනාවට අයත් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ (MIR) භටපිරිස් විසින් සපයන ලදී. ඊට අමතරව, මෙම ශිෂ්‍යාව සඳහා පෞද්ගලික වෘත්තිකයන් දෙදෙනෙකු විසින් අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ද ලබාදෙන ලදී.

වව්නියාව පම්පෙමඩු ප්‍රදේශයේ ඉදිකරන ලද අනෙක් නිවස ඉතා කුඩා පැලක ජීවත් වූ තවත් අඩුආදායම් ලාභී පවුලක් සඳහා ලබාදෙන ලදී. 621 බලසේනාවට අයත් 25 වන පාබල හමුදා රෙජිමේන්තු භටපිරිස් විසින් ඉදිකරන ලද මෙම නව නිවාස පසුගිය අප්‍රේල් 10 වන දින පැවති චාම් උත්සවයක දී එහි හිමිකරු වන නාගරාසා මූර්ති මහතා වෙත භාරදෙන ලදී.

මෙම උත්සවය අතරතුර දී පානිය ජලය ලබා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දුන් පවුලක් වෙත රුපියල් 100,000 ක් වටිනා විදුලි නල ලිඳක් ඉදිකර දෙන ලදී. බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න විසින් මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු සිදුකල අතර මෙම උත්සවය අතරතුරදී ප්‍රදේශවාසින් අතර පොල් පැළ 100 ක් ද බෙදාදෙන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගී විය