ගුවන් හමුදාවේ ‘ගුවන් මිතුදම්’ ප්‍රජා සත්කාරක වැඩසටහනක් දිවුල්වැවදී

මාර්තු 31, 2021

‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 5 වන අදියර මාර්තු මස 29 වන දින මොරවැව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදි.

ප්‍රදේශවාසින් වෙනුවෙන් ඉදිකරන ලද “පානීය ජල ව්‍යාපෘතිය” ජනතා අයිතියට පත්කිරීමද එදිනම නිල වශයෙන් සිදුකරන ලදි.
 
දිවුල්වැව ප්‍රදේශයේ මොරවැව යාය මහා විද්‍යාලය අලුත්වැඩියා කරන ලද අතර පාසල් ළමුන් වෙත ත්‍යාග ලබාදීමද එදින සිදුකල බව ගුවන් හමුදාව පැවසිය.

දිවුල්වැව යනු දෛනික අවශ්‍යතා සඳහා පානීය ජල දුෂ්කරතාවන්ට මුහුණ දෙන ගම්මානයකි.  

ගුවන් හමුදා කඳවුර ආසන්නව ජීවත්වන ජනතාවට ශක්තියක් වීම සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ “ගුවන් මිතුදම්” ව්‍යාපෘතිය සහ මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මිය සහභාගී විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් හා සෙසුනිලයින් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.