කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය 2021 වර්ෂය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා අරඹයි

අප්‍රේල් 01, 2021

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2021 වර්ෂයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවන්හි සමාරම්භක උත්සවය මාර්තු 30 වන දින උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව විද්‍යාපති හා ශාස්ත්‍රපති පාඨමාලා රැසක ආරම්භය විද්‍යාර්ථීන් 159 දෙනෙකු බඳවාගනිමින් ඇරැඹිනි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී විය.

එහිදී උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් නව විද්‍යාර්ථීන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

කුසලතා වර්ධනය, ආකල්ප පරිවර්තනය සහ ගැටළු විසඳීම සඳහා වන ප්‍රවේශයන් සඳහා අවස්ථාව සැලසීමේ අරමුණින්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය නවතම ඉගැන්වීමේ ක්‍රම සහ තාක්‍ෂණයෙන් සමන්විත වන අතර අන්තර්ක්‍රියාකාරී සැසි, පර්යේෂණාත්මක ඉගෙනුම් සහ ස්වාධීන පර්යේෂණ ව්‍යාපෘති හරහා දැනුම වැඩි දියුණු කිරීමට විද්‍යාර්ථීන්ට අවස්ථාව ලබා දේ.

පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය එහි පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා ද ඇගයීමට ලක්ව ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රටේ විශිෂ්ටතම හා ඉහළ පිළිගැනීමක් ඇති උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිතය.

එය අන්තර්ජාතික විශ්ව විද්‍යාල සංගමයට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයට අනුබද්ධ ආයතනයකි.