ජාතික වෙඩි තැබීමේ ශුරතා තරඟාවලියේදී යුද්ධ හමුදා කණ්ඩායම කැපීපෙනෙන දස්කම් පෙන්වයි

අප්‍රේල් 12, 2019

ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් මෑතකදී පවත්වන ලද ජාතික වෙඩිතැබීමේ ශුරතා තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සමස්ථ ශුරතාවය දිනාගැනීමට සමත් වූ බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ දී පවත්වන ලද මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රන් පදක්කම් 08 ක්, රිදී පදක්කම් 06 සහ ලෝකඩ පදක්කම්   2 ක් දිනා ගැනීමට සමත් වුහ.

පසුගිය අප්‍රේල් 03 වනදා සිට 08 වනදා දක්වා පවත්වන ලද මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ සහ පාසල්වල තරගකරුවන් 186 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වන ලදී. මීටර් 10, 25 සහ 50 යන දුරවල් වලදී වායු පිස්තෝල, සම්මත පිස්තෝල ඇතුළු විවිධ පිස්තෝල වර්ගද, වායු රයිෆල් වෙඩි තැබීම ඇතුලුව විවිධ කාණ්ඩ යටතේ වෙඩිතැබිම් ඉසව් ගණනාවක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩිතැබීමේ ක්‍රීඩකයින් නව ශ්‍රී ලංකා වාර්තාවන් තුනක් සමගින් රන් පදක්කම් 08 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවලිය හිමිකර ගන්නා ලදී. නාවික හමුදාවේ ක්‍රීඩකයින් රන් පදක්කම් 01 ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමගින් දෙවන ස්ථානයට පත්වූ අතර ගුවන් හමුදාවේ ක්‍රීඩකයින් ලෝකඩ පදක්කම් 05 ක් සමගින් තුන්වන ස්ථානය දිනා ගත්හ.