ආරක්‍ෂක අමාත්‍යාංශය ශුද්ධ වූ සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කරයි

අප්‍රේල් 03, 2021

මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වන දිනට යෙදී ඇති අතර 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් සිහිකරමින් එය සමරනු ලැබේ. ඒ අනුව ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වන විටත් ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන අතර ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ත්‍රිවිධ හමුදාවට සියළු ආරක්‍ෂක විධිවිධාන යොදවන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත් කර ඇති අතර මෙම කාල සීමාව තුල දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්‍ෂක විධිවිධාන තවදුරටත් තර කරන ලෙසත් තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ  භීෂණය හා සම්බන්ධ  ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත්, දේවස්ථාන විසින් පත්කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශුද්ධ වූ සතියේ සහ පාස්කු ඉරිදා දිනයේ බැතිමතුන් සහ දේවස්ථාන විසින් සිදුකරන දේවමෙහෙයන්, උත්සව හා වෙනත් ක්‍රියාකාරකම් වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන්ද, ආරක්‍ෂක අමාත්‍යාංශය දේවස්ථානවලින් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

මාධ්‍ය නිවේදනය