ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 11, 2019

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, දක්ෂතාවයන් සහ විශේෂ හැකියාවන් ඇගයීම සඳහාත් සමාජ වගකීම් සහිත මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහාත් යන අරමුණු මූලික කරගෙන පවත්වන ලදී.

ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය ආවරණය වන පරිදි හොඳින් දැනුවත් සමාජයක් ගොඩ නැංවීම සහ ජනමාධ්‍යවේදීන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම තුලින් මාධ්‍ය දිරිමත් කිරීම ද මෙමගින් අරමුණු කෙරේ.

මෙහිදී ප්‍රවීණ මෙන්ම තරුණ මාධ්‍යවේදීන් රැසක් විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලැබිය. මීට අමතරව විශිෂ්ඨ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ද ‘ශ්‍රී ලංකා මාධ්‍යාභිමානි’ ජනාධිපති මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.