'මිත්‍ර ශක්ති' අභ්‍යාසය අවසන් වේ

අප්‍රේල් 11, 2019

දියතලාවේ පැවති ‘මිත්‍ර ශක්ති’ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය පසුගිය සඳුදා (අප්‍රේල් 08) දින සාර්ථකව අවසන් වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ සමාප්ති උත්සවය දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා කඳවුරේ දී පැවැත්විණි.

මෙම අභ්‍යාසය සඳහා ඉන්දියානු හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 109 දෙනෙකු සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 110 දෙනෙකු සහභාගී විය.

සති දෙකක් පුරා පැවැත්වෙන අඛණ්ඩව 7 වන වරටත් සංවිධානය කරන ලද ‘මිත්‍ර ශක්ති’ ද්විපාර්ෂික පුහුණු අභ්‍යාසය මෙවර දියතලාව 1 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ දී පසුගිය මස 26 (මාර්තු) වන දින ආරම්භ විය. මෙම අභ්‍යාසය තුලින් දෙරටේ හමුදා විශේෂඥ දැනුම සහ පළපුරුද්ද හුවමාරු කර ගැනීම සඳහා සහ දෙරටේ හමුදාවන් අතර සහයෝගිතාවය වර්ධනය කරගැනීම සඳහා කදිම අවස්ථාවක් සැලසෙනු ඇත.

මෙම පුහුණු අභ්‍යාසය පැවැත්වෙන අතරතුර එය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා මාර්තු මස 30 වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එහි නිරීක්ෂණ සංචාරයක නිරත විය.

මෙම පුහුණු අභ්‍යාසය අවසානයේ පැවති සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්ඒඩිඒඩි ගුණවර්ධන සහභාගී විය.