නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට ගත් උත්සාහයක් නාවික හමුදාව විසින් ව්‍යර්ථ කෙරේ

අප්‍රේල් 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව අප්‍රේල් මස 06 වන දින සිලාවතුර කොන්ඩච්චිකුඩා හි සිදුකල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කල පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

වයඹ දිග නාවික විධානය මගින් සිලාවතුර කොන්ඩච්චිකුඩා මාර්ග බාධකයේ දී සැකකටයුතු ත්‍රිරෝද රථ හතරක් පරික්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

මෙම සැකකරුවන් නීතිවිරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා සිලාවතුර මුහුදු ප්‍රදේශයට යමින් සිට ඇති බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් අය යාපනය, මුලතිවු, මන්නාරම, වාලච්චේන, වත්තල සහ පුත්තලම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අතර පිරිමි දාහතර දෙනෙක්, කාන්තාවන් හතර දෙනෙක්, එක් පිරිමි ළමයෙක් සහ එක් ගැහැණු ළමයෙක් වේ.

සැකකරුවන් සහ ත්‍රිරෝද රථ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිසියට භාර දී තිබේ.