යුද්ධ හමුදා භටපිරිස් විසින් යාපනයේ අඩු ආදායම් පවුල් දෙකක් සඳහා තවත් නිවාස දෙකක් ඉදිකරදෙයි

අප්‍රේල් 10, 2019

යාපනය, සෝලිපුරම් ප්‍රදේශයේ නිවසක් නොමැතිව දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් දෙකක් පිළිබඳ ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් වෙත ලද තොරතුරක් මත, ඔවුන් විසින් නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදී. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදුකරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘතීන් යටතේ පවුලක් සඳහා මෙම නව නිවාස දෙක ඉදිකර දෙන ලදී.

පසුගිය ඉරිදා (අප්‍රේල් 07) දින පවතී චාම් උත්සවයක දී අදාළ නිවාසලාභින් වෙත මෙම නිවාස දෙක භාර දෙන ලදී. මෙහි ඉදිකිරීම් කටයුතු 14 වන ගජබා රෙජිමේන්තුව සහ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සිදුකරන ලද අතර ඒ සඳහා වන අරමුදල් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ලබාදෙන ලදී. මෙම නිවාස හිමිකරුවන් වෙත භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගී විය.

මේ අතර යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත දානපතියන් පිරිසක් විසින් ලබාදෙන ලද පාපැදි 10 ක් එම අර්ධද්වීපයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 10 දෙනෙකු වෙත බෙදා දෙන ලදී. පාසල් යන මෙම දරු දැරියන්ගේ ප්‍රවාහන අපහසුතා මගහැරවීමට මෙසේ පාපැදි ලබා දෙන ලදී. යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක මෙම පාසල් දරුවන් වෙත පාපැදි ලබාදීමේ ව්‍යාපෘතිය මගින් යාපනය අර්ධද්වීපයේ දුෂ්කර ප්‍රදේශවල සිට පාසල් පැමිණෙන සියගණනක් වූ දරුවන්ගේ ප්‍රවාහන අපහසුතා සෑහෙන දුරට අවම කරලීමට හැකිවී ඇත.