දියයට කලාගාරය ජනතා අයිතියට

අප්‍රේල් 11, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු වෙරළ තීරයේ නිල්වැල්ල වෙරළේ ඉදිකරන ලද ‘දිය යට කලාගාරය’ ඊයේ (10) දින ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මහතා විසින් මෙම ව්‍යාපෘතිය විවෘත කරන ලදී.

ලංකා නාවික හමුදාව විසින් ධීවර අමාත්‍යාංශය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම දියයට කලාගාරය ස්ථාපිත කරන ලදී.

මෙම කලාගාරය මීටර 100ක පමණ දිගකින් සහ මීටර 40ක පමණ පළල වපසරියක විහිදී ඇති නගරයක ස්වරූපය පිළිඹිඹු වන අයුරින් නිර්මාණය කර ඇත.

මීට අමතරව සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ මානව පැවැත්ම හේතුවෙන් සමුද්‍ර ජීවීන්ට සිදුවන හානිකර බලපෑම් වැළැක්වීම පිළිබඳව ද මෙම ව්‍යාපෘතිය මගින් අවධානය යොමු කෙරේ.

එය ස්වාභාවික මත්ස්‍ය අභිජනනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ කොරල් වර්ධනය සඳහාම නිර්මාණය කළ උපස්ථර කිමිදුම්කරුවන් සඳහා ඉතා ආකර්ශණිය ස්ථානයක් ද සපයයි.

සංචාරකයින් සඳහා නවමු අත්දැකීමක් ගෙන දෙමින් පරිසර හිතකාමී අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද මිනිස් රූප ඇතුළු විවිධ නිර්මාණාත්මක ආකෘතීන්, ගොඩනැගිලි ආකෘතීන් මෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ ඇතුළු රථ වාහන ඉතා ආකර්ශණිය ලෙස මෙම දියයට කලාගාරය තුල ස්ථානගත කර ඇති බව නාවික හමුදාව පවසයි.

තවද, මුහුද මතුපිට පිහිනීම මඟින් සහ වීදුරු පතුලක් සහිත ඩිංගි යාත්‍රා මගින්ද මෙම ආකර්ෂනීය දියයට පරිසරය පහසුවෙන් දැක බලා ගැනීමේ හැකියාව පවතී.

මෙම ව්‍යාපෘතිය මගින් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ කිමිදුම් ලෝලීන් ආකර්ෂණය කර ගැනීමටත් බලාපොරොත්තු වේ.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, දකුණු නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නාවික හමුදා පුද්ගලයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.

 

Sinhala.