යාපනයේ දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

අප්‍රේල් 13, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (අපේ‍්‍රල් 12) දින හින්දු චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී යාපනය, ග්‍රෑන්ඩ් බසාර් ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා ඉදිකරනු ලැබූ නව නිවසක් පිරිනමන ලදී.

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අලුත් අවුරුදු සුභපැතුම් පිරිනැමීම සඳහා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර නිවාසලාභි කරුණානිදි ජගදීශ්වරන් මහත්මිය වෙත නව නිවසේ යතුර භාරදුන්නේය.

මේ සඳහා යුද හමුදාව විසින් තාක්‍ෂණික, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වය ලබාදුන් අතර යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ඉදිකිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදා නිලධාරීන් ඇතුළු භට පිරිස් සහ යාපනයේ රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවති මෙම උත්සවය සඳහා සහභාගී විය.