ඉන්දියානු යුධ නෞකාවක් කොළඹ වරායට පැමිණේ

අප්‍රේල් 15, 2021

ඉන්දියානු නාවික හමුදාවට අයත් “ RANVIJAY ” නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා 2021 අප්‍රේල් මස 14 වන දින කොළඹ වරායට සේන්දු විය.

නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව සාදරයෙන් පිළිගනු ලැබීය.

ඉන්දියානු නාවික නෞකා “RANVIJAY” නෞකාව දිගින් මීටර 146.2ක් හා නැව් මුළුව 425 කින් සමත්විත “Destroyer” වර්ගයේ යුද්ධ නෞකාවක් වේ.

නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන් හරිහරන් විසින් අද (2021 අප්‍රේල් 15) දින බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන එම විධාන මූලස්ථානයේදී හමුවීය.

මෙහිදී ඔවුන් දෙරටේ නාවික හමුදාවන් අතර ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක්ද රියර් අද්මිරාල් සුදර්ශන වෙත භාර දුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

තවද මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, මෙම නෞකාවේ අණදෙන නිලධාරී විසින් බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක හමුදා අනුස්මරණ ස්මාරකය අබියස මල් කළඹක් තබා ගෞරවාචාරය පුද කිරීමද මෙම සංචාරයේදී සිදුවිය.

මෙම නෞකාව 2021 අප්‍රේල් මස 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.