රණවිරුවන් සඳහා නැවුම් බලාපොරොත්තු සමඟ සුභ නව වසරක්

අප්‍රේල් 19, 2021

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අප්‍රේල් 19) දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව චාරිත්‍රාණුකුලව වැඩ ආරම්භ කිරීමට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් කියා සිටියේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් කාර්යක්‍ෂමව වැඩ කිරීමට සහ රජයේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා උපරිම දායකත්වය ලබාදීමට අප සැවොම අධිෂ්ඨාන කර ගත යුතුය” යනුවෙනි.

“ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතනවල සහාය සහ ත්‍රිවිධ හමුදාවන්ගේ ක්‍රියාකාරී දායකත්වය සමඟ දිවයිනේ කොවිඩ් 19 ව්‍යවසනය සාර්ථකව පාලනය කර ගැනීමට අපට හැකි විය” යනුවෙන් සඳහන් කරමින් එතුමන් මේ සඳහා දායක වූ සියලු දෙනාටම සිය කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාවේදී රණවිරු පවුල් සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා හිමිගැන්විම සඳහා වන සියලු කටයුතු ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම මත සම්පාදනය වෙමින් පවතින බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න, කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී විය.