එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු සුඩානය බලා පිටත් වේ

ජුලි 03, 2019

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ සාම සාධක රාජකාරින් සඳහා (UNMISS) 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද උදෑසන (ජූලි 3) දකුණු සුඩානය බලා පිටත්ව ගියහ. ශ්‍රී ලංකා යුද හමුදා නිල වෙබ් අඩවියට අනුව 5 වන අදියර යටතේ දකුණු සුඩානයේ රාජකාරී කළ සාමාජිකයින් 62 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව අද (ජූලි 3) දින නැවත දිවයිනට ලඟාවීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ බෝර් හි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක් පිහිටුවන ලදී. මෙම රෝහල ද්විතීයික සත්කාර වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අංගයන්ගෙන් සමන්විත වන අතර, ඒ තුල ශල්‍යාගාරයක්, ප්‍රසූතිකාගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, බාහිර රෝගී අංශයක්, දන්ත සැත්කම්, දන්ත වැඩමුළු, ෆාමසි, වෛද්‍ය ගබඩාව, විකිරණ විද්‍යා අංශය, සායනික රසායනාගාරය, ඊසීජී කාමරය ඇතුළු විෂබීජහරණ අංශය, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශය, වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංශය, වායූසමනය කළ මෘත ශරීරාගාරය, හුදකලා වාට්ටුව, ලොන්ඩරි පහසුකම්, වායූසමනය කරන ලද ගිලන්රථ පහසුකම් මෙන්ම ගුවන් මඟින් රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා සියළු පහසුකම් ද ඇත.