එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන යුද හමුදා සාමාජිකයින්ට සුසුභාශිංෂණ

අප්‍රේල් 21, 2021

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (21) දින ඔවුන් පිටවයාමට පෙර උණුසුම් සුබ පැතුම් ලබාදෙන ලදී.

දිවයිනෙන් පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම, ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය,  ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා භට පිරිස්ගෙන්  සමන්විත වේ.

තවද, මෙම සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමට අයත් තවත් භට පිරිස් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින කිහිපයකට පසු පිටත්ව යාමට අපේක්ෂා කෙරේ.

මේ අතර, දැනටමත් මාලි රාජ්‍යයේ රජකාරින්හි නියුතු සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ  භට පිරිස් (දෙවන අදියර) 240 දෙනෙකු සිය සාම සාධක රාජකාරි කටයුතු සම්පූර්ණ කර ඇති අතර ඔවුන් සිය මව්බිමට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.