නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1263 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

අප්‍රේල් 23, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අප්‍රේල් 17 සිට 20 දක්වා දිනයන් තුළ වයඹ සහ බටහිර මුහුද හරහා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝ 1263 කට අධික තොගයක් සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බටහිර නාවික විධානය මගින් මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේදී 2021 අප්‍රේල් 17 වන දින සිදුකළ මෙහෙයුමකදී  ඩිංගි යාත්‍රාවන් දෙකක් තුළ උර 14 ක අසුරා සඟවා තිබූ වියලි කහ කිලෝ 461 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.

උතුරු මැද නාවික විධානය මඟින් මන්නාරම කුඩිඉරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අප්‍රේල් 19 වන දින සිදුකළ මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි උර 15 ක අසුරා තිබූ වියලි කහ කිලෝ 543 ග්‍රෑම් 700 ක්, සැකකරුවන් ‍දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, අප්‍රේල් 20 වන දින පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී වියලි කහ කිලෝ 258 ග්‍රෑම් 500 ක් සහිත උර 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ජාවාරම්කරුවන් වයස අවුරුදු 22 ත් 44 ත් අතර පසුවන පේසාලේ සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මීගමුව කළපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු, කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාර දී ඇත.

එමෙන්ම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කර ඇත.

නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

COVID-19 වැළැක්වීම සඳහා නියම කර ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සියලු මෙහෙයුම් සිදු කර ඇත .