මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි නිම කල ශ්‍රී ලංකා යුද හමුදා භට කණ්ඩය වෙත සුභ පැතුම්

අප්‍රේල් 26, 2021

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ නැගෙනහිර ආඥාපති ජ්‍යෙෂ්ඨ කර්නල් ෂූ ජින්සෝ විසින් මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සාම සාධක භටයින් සිදුකල කාර්යභාරය, ඔවුන්ගේ ඉහළ වෘත්තීයභාවය සහ විනය පිළිබඳව ප්‍රශංසා කරන ලදී.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මාස 6 ක දීර්ඝ කාලයක් රාජකාරී සාර්ථකව ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company)) අප්‍රේල් මස 22 වන දින දිවයිනට පැමිණෙන ලදී.

ශ්‍රී ලංකා භටපිරිස් රැඳී සිටි කාලය තුළදී, ‘MINUSMA’ හි ප්‍රධාන ස්ථානයන්හි පාලන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, භාණ්ඩ සහ උපකරණ නැවත සැපයීම සඳහා සිදුකරන සංග්‍රාමික රථවාහන මෙහෙයුම් 22 ක් සාර්ථකව සිදු කර ඇත.

ඔවුන් ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාමට පෙර, නැගෙනහිර ආඥාපති සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයම් මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර ශ්‍රී ලංකා භට පිරිස් විසින් සිදු කරන ලද කාර්යභාරය ඇගයීමට ලක් කළේය.