චීන ආරක්ෂක ඇමති දිවයිනට

අප්‍රේල් 27, 2021

චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (අප්‍රේල් 27) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

 ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඇතුළු ආරක්ෂක අංශයේ නියෝජිතයින් පිරිසක් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් පිරිස පිළිගන්නා ලදී.

විශේෂ ගුවන් යානයකින් පැමිණි චීන දූත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙම සංචාරයේදී ජෙනරල් ෆෙන්ග්හි මහතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍යාරක්‍ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ‘ වායු බුබුල (Air Bubble)’ සංකල්පයට අනුව පිළිගැනීමේ උත්සවය සහ මෙම සංචාරය සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු ක්වි ෂෙන්හොන්ග්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ, චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගී විය.