පුංගුඩුතිව් දූපතේ සිට නයිනතිව් දූපත දක්වා අක්‍රිය තිබු පාලම් පාරුව නාවික හමුදා දායකත්වයෙන් යලි පණගැන්වේ

අප්‍රේල් 28, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව තවත් සමාජ සේවා කටයුත්තක් සිදු කරමින්, යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගන්නා ලද පසුගිය කාලයේදී අක්‍රීයව තිබූ පාලම් පාරුව (Ferry) අලුත්වැඩියා කර යලි පණගැන්වීමට කටයුතු කෙරිණි.

මාස ගණනාවක් තිස්සේ මෙම පාලම් පාරුව අක්‍රීය තත්ත්වයේ තිබීම හේතුවෙන් නයිනතිව් දූපත් වාසීන්ගේ එදිනෙදා කටයුතු නිසිලෙස සිදුකර ගැනීමට මහත් බාධාවක් වී තිබු බව නාවික හමුදාව  පවසයි.

එමෙන්ම මෙම පාලම් පාරුවේ බෑවුම් දොර දිරාපත්වීම හේතුවෙන් නයනතිව් දූපත ආසන්නයේ මුහුදට වැටී තිබිණ.

එම බෑවුම් දොර උතුරු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශය මඟින් යලි ගොඩගෙන අවශ්‍ය පිළිසකර කිරීම් වලින් අනතුරුව පාලම් පාරුවට නැවත සවි කල බව නාවික හමුදාව පවසයි.

මෙම පාලම් පාරුව යලි ක්‍රියාකාරී තත්වයට පත්කර දූපත්වාසී ජනතාවගේ ජනජීවිතය යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව දැක්වූ දායකත්වය යාපනය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ පොදු ජනතාවගේ ඉමහත් ප්‍රශංසාවට ලක්විය.

Sinhala.