ගංජා තොගයක් සමඟ ළූණු බීජ තොගයක් නාවික හමුදා භාරයට

මැයි 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කල ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් සහ ළූණු බීජ කිලෝග්‍රෑම් 522 ක පමණ ප්‍රමාණයක් ඊයේ (මැයි 07) නාවික හමුදා භාරයට ගෙන ඇත.

කුදිරමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ දී මලු 06 ක පාර්සල් 118 ක් වශයෙන් අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගය, ඉන්දීය ජාතිකයන් 07 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 70කට අධික වෙතැයි විශ්වාස කෙරන අතර එම ගංජා තොගය පවත්නා කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැලකිල්ලට ගනිමින් ගිනි තබා විනාශ කිරීමටත්, එම යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් 07 දෙනා ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර යැවීමටත් කටයුතු කරන ලද බවත් නාවික හමුදාව තවදුරටත් පැවසීය.

තවද, එදින මීගමුව තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ පාර්සල් 20ක අසුරන ලද ළූණු බීජ තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ලක්ව ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද ළූණු බීජ තොගය, සැකකරුවන් දෙදෙනා (02) සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම් සිදුකර ඇත.