බස්නාහිර සහ දකුණු පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට යුද හමුදාවෙන් සහන

මැයි 17, 2021

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ යුද හමුදා භටපිරිස් විසින් පවතින අයහපත් කාලගුණික තත්වය සහ ගංගා පිටාර ගැලීමෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සහය දක්වන ලදි.  

අත්තනගලු ඔය පිටාරගැලීම හේතුවෙන්, ගම්පහ ප්‍රදේශයේ සිරවී සිටි සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බේරාගෙන තාවකාලික සහන මධ්‍යස්ථාන වෙත යොමුකරන ලදි.

මේ අතර 613 බලසේනාවේ 14 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ඇල්පිටිය, නෙලුව, තවලම, බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ සහ නියාගම යන ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට සහාය ලබාදෙන ලදි.

අධික වර්ෂාව සහ කුණාටු සහිත සුළං මධ්‍යයේ සිවිල් වැසියන් බෝට්ටුවලින් ආරක්‍ෂිත ස්ථාන  වෙත රැගෙන යාම, මාර්ග නිසැක කිරීම්, නායයාමේ අවධානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම, ආධාර ලබාදීම සහ වෛද්‍ය ආධාර ලබාදීම වැනි කටයුතු ජනතාවට බෙහෙවින් උපකාරී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන්ද මේ සඳහා භට පිරිස් වෙත සහය දක්වන ලදී.

තවද, 12 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භට පිරිස් විසින් ගමනාගමනය අවහිරව තිබු පිටිගල - වලල්ලාවිට මාර්ගයේ ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා ආපදා සහන සේවා ක්‍රියාත්මක කළ අතර, මාතර අකුරැස්ස ප්‍රදේශයේ නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන්, 3 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් සෝදිසි මෙහෙයුම්, මුදවා ගැනීමේ මෙහෙයුම් සහ ආපදා සහන කටයුතු සිදු කරමින් පවතී.