“ටවුටේ” සුළි කුණාටුව තවත් චණ්ඩ වේ

මැයි 17, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (මැයි 17) දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නැගෙනහිර-මධ්‍යම අරාබි මුහුද ආශ්‍රිතව පැවති ඉතා චණ්ඩ “ටවුටේ” සුළි කුණාටුව, අද දින උදෑසන 08.30 පමණ වන විට අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව, උතුරු අක්ෂාංශ 18.8 ත් නැගෙනහිර දේශාංශ 71.5 ත් ආසන්නව ස්ථානගතව පැවති අතර මෙය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, අද දින සවස් කාලයේදී ඉන්දියාවේ ගුජරාටි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්‍ෂාෂා කරන බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30 - 40 පමණ වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20 - 40 පමණ වන අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 - 55 දක්වා වැඩි විය හැක.

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.
මේ නිසා එම ප්‍රදේශ වල ධීවර හා නාවුක කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාද කරයි.