ජාතික රණවිරු සැමරුම

මැයි 19, 2021

12 වන ජාතික රණවිරු සැමරුම්  උත්සවය මිට සුළු මොහොතකට පෙර අද (මැයි 19) සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති  සහ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ද රණවිරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයට සහභාගී විය.

ඒ අනුව 2009 මැයි මස 19 වන දිනට  පෙර කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහි සටන වෙනුවෙන් උත්තරීතර කැපකිරීම් කළ සියලුම රණවිරුවන්  හා  ඔවුන් සිදු කළ  විශිෂ්ඨ සේවය  ගෞරවයෙන් සිහිපත් කරනු ලැබීය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ (විශ්‍රාමික) සෘජු අධීක්ෂණය යටතේ රණවිරු  සේවා අධිකාරිය විසින් මෙම රණවිරු සැමරුම් උත්සවය සංවිධානය කරන ලද අතර රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිෂ්ශබ්දතාවයක් පල කිරීම, ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් වැදුණු රණවිරුවන් ඇගයීම  හා ජාතික ගීය ගායනා කිරීම,  ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සහ ගුවනින් මල්  ඉසිම යන  ක්‍රියාකාරකම්  නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු විය.

රණවිරු  සේවා අධිකාරියේ  වැඩබලන සභාපතිනි සෝනියා කොට්ටෙගොඩ සිය පිළිගැනීමේ දේශනය කරමින් සඳහන් කලේ යුධ සමයේදී රණවිරුවන්ගේ පවුල් දැඩි පීඩනයකට ලක් වූ අතර ත්‍රස්තවාදයෙන්  වෙලී  තිබූ රටට සාමය උදා කිරීම සඳහා බොහෝ කැපකිරීම්  කළ අතර රණවිරුවන්ගේ  පවුල් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීමට කැපවී සිටින බවයි.

ජාතික රණවිරු සැමරුම්  දිනය  සංකේතවත් කිරීම සඳහා සෑම නිවසකම සාම්ප්‍රදායික පහනක් දල්වා  පැළයක්  රෝපණය කරනු ඇතැයි රණවිරු  සේවා අධිකාරියේ වැඩබලන සභාපතිතුමිය  අපේක්ෂා කළාය.

ජාතික වැදගත්කමක් ඇති අද දිනයට සමගාමීව, ජනාධිපති රාජපක්ෂ මහතා විසින් සුදුසුකම් සපුරනු ලැබූ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙබළුන් අදාළ ඉහළ නිලයන් වෙත උසස් කරන ලදී.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆොස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්,පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සීමිත ආරාධිතයින් පිරිසක් ද සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ යටතේ පැවති මෙම අවස්ථාවට සහභාගී විය.

Sinhala.