නාවික හමුදාව විසින් මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් පවත්වයි

මාර්තු 29, 2019

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් බදාදා (මාර්තු 27) දින පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදි ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ නාවික භටපිරිස් විසින් ආපදා කළමණාකරණය පිළිබඳ ඔවුන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනීමට කටයුතු කල බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම වැඩසටහන ගංවතුර සහ නායයෑම් වශයෙන් අධියර දෙකක් යටතේ පවත්වන ලදී. ඒ සඳහා නාවික හමුදා භටපිරිස් සමග ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක බලකායට අනුයුක්ත සාමාජිකයින් ද සහභාගිවන ලදී.

මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරින් මෙන්ම රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගිවි සිටියහ.