සමුද්‍රීය පරිසරය රැකගැනීමට වෙරළාරක්‍ෂකයින් ක්‍රියාත්මක වේ

මැයි 29, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු භටපිරිස් විසින් ආපදාවට පත් නෞකාව හේතුවෙන් බලපෑමට ලක් වූ මුහුදු ප්‍රදේශවලින් එම නෞකාවේ සුන්බුන් කිලෝග්‍රෑම් 5,000 කට අධික ප්‍රමාණයක් මෑතකදී (මැයි 26 සහ 27) ඉවත් කර ඇත.

නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍රාරක්ෂා’ සහ ‘සමාරක්ෂා’ යන වේග මුර යාත්‍රා දෙකක් කොළඹ වරායේ ස්ථානගත කර තිබේ. 

එවැනි තත්වයන් ඇති වුවහොත් කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපකරණ සහිත තෙල් කාන්දු ප්‍රතිචාර කණ්ඩායම් හඳුනාගත් පාරිසරික සංවේදී ප්‍රදේශවල යොදවා ඇති බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

සාගර පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා මීගමුව කලපු පිවිසුම වැනි හඳුනාගත් ප්‍රදේශවල ‘බූම්ස් (booms)’ තැන්පත් කර ඇත.

මොරටුව සිට මා - ඔය දක්වා සාගර පරිසරයට ඇතිවිය හැකි හානිය අවම කිරීම සඳහා වෙරළ තක්සේරු කිරීම් සහ පිරිසිදු කිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.